GLX හා ශ්‍රී ලංකා සංචාරක සංසදය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරවලට මූල්‍යාධාර

මෙරට සංචාරක කර්මාන්තය නැවත නඟා සිටුවීමේ  අරමුණින් GoodLife X, පසුගියදා ශ්‍රී ලංකා සංචාරක සංසදය සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම සහයෝගීතාව ඔස්සේ  නිර්මාණය කළ ‘Grants for Tourism Resilience” වැඩසටහන යටතේ සංචාරක කර්මාන්තයේ නියැළී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ආධාර හිමි වේ. එමෙන්ම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මතුව ඇති අභියෝග සාර්ථකව ජයගැනීමට මෙන්ම, නව අවස්ථා හඳුනාගනිමින් නව වෙළෙඳපොළ කරා පිවිසීමට සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරවලට මඟපෙන්වීමක් ලබාදීමට ද අපේක්ෂිත ය.

“සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නවෝත්පාදනය, වර්ධනය සහ වඩා යහපත් ක්‍රියාමාර්ග තුළින් ඉදිරියට යනු දැකීම අපේ අරමුණයි. අපි GoodLife X හා සහයෝගීතාවකට එළඹීමට හේතුවූයේත් එයයි. පරිසර හිතකාමී තිරසාර ව්‍යාපාර අදහස් හරහා දිගු කාලීන සාධනීය බලපෑමක් ඇති කළ හැකියි. ඒ හරහා ව්‍යාපාරවලට හොඳ ආදායම් මාර්ගයක් සැලසෙන අතරේ,  පාරිසරික ජෛව විවිධත්වය පවත්වා ගැනීමට සහ දේශීය ප්‍රජාව හා සංස්කෘතිය සවිබල ගැන්වීමටත් හැකි වෙනවා”, යනුවෙන් මේ පිළිබඳව සංවිධානය කෙරුණු ඩිජිටල් සැසියකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා සංචාරක සංසදයේ සම සභාපති මලික් ජේ ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ GoodLife X වැඩසටහනේ අධ්‍යක්ෂිකා රන්දුලා ද සිල්වා කියාසිටියේ, GLX හා සංචාරක සංසදය යන ආයතන දෙකෙහිම වටිනාකම් සමපාත වන බැවින් මෙය ඉතාමත් වැදගත් සහයෝගීතාවක් වන බවය. “මෙම ප්‍රදානය ශ්‍රී ලංකා සංසදය හරහා ක්‍රියාත්මක කිරීමට අපි තීරණය කළේත් ඒ නිසායි. ඒ වගේම ශ්‍රී ලංකා සංචාරක සංසදය තිරසාර බව ප්‍රමුඛ කරගනිමින් රටේ සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත වුණු සංවිධානයක්. එම කරුණත් අපි මෙහිදී විශේෂයෙන් සැළකිල්ලට ගනු ලැබුවා. GLX වශයෙන් අපේ බලාපොරොත්තුව වන්නේ සමාජයට, ජනතාවට සහ පරිසරයට යහපතක් උදා කරන ව්‍යාපාර වර්ධනය කිරීමයි. සංචාරක සංසදයේ අරමුණත් එයයි”, ඇය විස්තර කළාය.

මෙම වැඩසටහන යටතේ හිමිවන ආධාර මුදල් ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ ශ්‍රි ලංකාවේ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පමණි. එමෙන්ම අවම වශයෙන් වසර දෙකක් සම්පූර්ණ කළ ව්‍යාපාරයක් විය යුතුය. තෝරාගනු ලැබූ ව්‍යාපාර ආයතනයකට යුරෝ 5,000 සිට යුරෝ 10,000 දක්වා ආධාර මුදලකට ඉල්ලුම් කළ හැක. මෙම වැඩසටහන යටතේ ප්‍රදානය කෙරෙන සමස්ත මුදල යුරෝ 50,000කි. ව්‍යාපාර ආයතනයට වඩා ශක්තිමත්ව නැගී සිටීමටත්, පරිසරයට හා දේශීය ප්‍රජාවට/ සංස්කෘතියට සෙත සැලසෙන තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මෙම ආධාර මුදල් යොදාගැනීමේ අවස්ථාව පවතී. එමෙන්ම එම ක්‍රියාමාර්ග හරහා නවෝත්පාදනයටත්, ගෝලීය වෙළෙඳපොළේ ආකර්ෂණයට දිනාගැනීමටත් ඉඩකඩ විවර කරනු ඇතැයි  ද අපේක්ෂිතය.

මේ සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2020 දෙසැම්බර් 18 වේ. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකා සංචාරක සංසදයේ ෆේස්බුක් පිටුව (https://www.facebook.com/TourismAlliance/videos/179662593844094) හරහා වැඩිදුර තොරතුරු ලබාගත හැක. එමෙන්ම https://www.srilankatourismalliance.com/grants-for-tourism-resilience/ වෙබ් අඩවිය හරහා ද මෙම වැඩසටහන හා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව වැඩි විස්තර ලබාගත හැක.

ශ්‍රී ලංකා සංචාරක සංසදය යනු 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පිහිටුවන ලද නිදහස් සාමාජිකත්වයක් මත පදනම් වූ සංවිධානයකි. අන්තර්ජාතික පිළිගැනීමට ලක්වූ තිරසාර සංචාරක ක්‍රියාපිළිවෙත් හරහා ශක්තිමත් පෞද්ගලික අංශයක් නිර්මාණය කරගැනීම එහි මුඛ්‍ය අරමුණ වේ. එහිදී ශ්‍රී ලංකාවේ සෑම සමාජ ස්ථරයකටම ප්‍රතිලාභ ගලා යාම තහවුරු කිරීම සඳහා සෙසු කර්මාන්ත සංවිධාන සමඟ  ද සහයෝගයෙන් කටයුතු කරනු ලබයි.

GoodLife X යනු නවෝත්පාදන සහ තිරසාර ව්‍යාපාර සඳහා සහාය ලබාදෙන වැඩසටහනකි. ඒ යටතේ සුවතාව හා සෞඛ්‍ය, පරිසරය, ආර්ථික හා සමාජ සමෘද්ධිය වෙත ධනාත්මක බලපෑමක් සහිත කුඩා පරිමාණ ව්‍යාපාර වෙත ආධාර කිරීමත්, ඔවුන්ට දෙස් විදෙස් වෙළෙඳපොළ වෙත ළඟාවීමට සහාය වීමත් සිදුකරයි. එමෙන්ම කොවිඩ් අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ජර්මනියේ Noah පදනමේ සහයෝගීතාවයෙන් GIZ ආයතනයේ මුල පිරීමක් ලෙස GLX Garage වැඩසටහන ද ආරම්භ විය.  ජර්මානු ආර්ථික සහයෝගීතා හා සංවර්ධන අමාත්‍යංශය ඊට ආධාර සපයයි.

 

Santhush Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.