බානගල උපතිස්ස හිමියෝ ඉංදියාවේ රයිසිනා ගෝලීය සමුළුව අමතයි.

ඉංදීය විදේශ කටයුතු අමාත්‍යංශය, Observer Research Foundation ආයතනය එක්ව සංවිධානය කළ පස්වන රයිසිනා ගෝලීය කතිකාව සමුළුව (Raisina Dialogue – 2020) පසුගිය දා (16) නවදිල්ලි නුවර දි පැවැත්වුණි. රටවල් සියයක (100) හත්සියයකට ආසන්න (700) ප්‍රධාන  නායකයන්,දේශපාලනඥයන්, විද්වතුන්,මාධ්‍යවේදින්,විෂයානුබද්ධ බුද්ධිමතුන් සහභාගි වූ මෙම සමුළුව ඉංදීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම සමුළුවේ පැවති ප්‍රධාන සැසි පහකි. එහි දෙවන දින පැවති ඩිජිටල් යුගයේ අනන්‍යතාවය සහ ආගම – භූ දේශපාලනය සහ දෙවියන් මැයෙන් පැවති ප්‍රධාන කතිකා සැසියේ සංවාද පූරක කථිකයෙකු ලෙස බානගල උපතිස්ස හිමියෝ සහභාගි වූහ.එහි සෙසු කථිකයන් වූයේ ,ඉංදීය පාර්ලිමේන්තු මංත්‍රි Swapan Dusguptha, Ali Rashid Al Nuaimi යන අයය.


මෙම ගෝලීය සමුළුවට ආරධනා ලද එකම ආගමික පූජ්‍ය පක්ෂ නියෝජිතයා මෙන්ම එකම ශ්‍රී ලාංකිකයා ද බානගල හිමියෝ බව වාර්තා වේ.


මෙහි දි උන් වහන්සේ, ශ්‍රි ලංකාවේ පවතින ආගමික සහජීවනය සහ ආගමික වශයෙන් බෙදුන පාසල් ක්‍රමයේ ආදීනව පෙන්වා දුන්නේය.එසේම ආගමික ශාස්තෲවරුන්ගේ ඉගැන්වීම්වලට පිටින් යමින් විවිධ නිකාය,කල්ලි, කණ්ඩායම් හදාගෙන අද එම ආගමික ඉගැන්වීම් විකෘති කර ඇත්තේ, පසුකාලීන ආගමික නායකයන් බවද, රජෙක් රට පාලනය කළ යුත්තේ කෙසේද යන්න ධර්මාශෝක රජතුමාගේ දසරාජ ධර්මයෙන් පෙන්වා දී ඇති බවද උන් වහන්සේ පෙන්වා දුන්හ.


මෙහි දි අගමැති මෝදි සමාරම්භක උත්සවයෙන් පසු පුද්ගලිකවම පැමිණ බානගල හිමියන් හා පිළිසදරක නිරතවීම විශේෂ සිද්ධියක් බව ඉංදීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.