විකල්පයක විරෝධය

හදාගත හැකි රටක් අපට ඇත - එකතුවෙමු
Image captionහදාගත හැකි රටක් අපට ඇත – එකතුවෙමු

“ඔක්කොම විකල්ප එකතුවෙමු” “ජනතාව බෙදිලා නැහැ අපිව බෙදන්න එපා” “අපි රට හදාගන්න යන්නේ, එන්න එකතුවෙන්න” වැනි පාඨ සහිත පුවරු රැගත් තරුණ පිරිසක් දිනපතා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටින් සවස 5 සිට 6 දක්වා ගමන් කරන පුද්ගලයෙකුට සුපුරුදු දසුනක් විය හැකිය.

මෙම එකතුව සාමාන්‍යයෙන් දකින විරෝධතාවකින් හෝ උද්ඝෝෂණයකින් වෙනස්වන්නේ ඔවුන් කිසිම සංවිධානයක, දේශපාලන ව්‍යාපාරයක බැනරයක් යටතේ මෙලෙස පුවරු රැගෙන නොසිටීම හේතුවෙනි.

මුලදී කිහිපදෙනෙකුගෙන් ඇරඹුණු මෙම නිහඬ විරෝධය දින කිහිපයකින් කෙමෙන් කෙමෙන් වැඩිවෙනු දක්නට ලැබුණ ද සාමාන්‍යයෙන් නිතර දකින දේශපාලන විරෝධතාවලට මෙන් සිය ගණනක පිරිසක් එයට සම්බන්ධ නැත. දේශපාලන විරෝධතාවලට ලැබෙන මාධ්‍ය ආවරණයද මොවුන්ට හිමිව නොතිබුණි.

විරෝධතාවයේ අවස්ථාවක්
Image captionවිරෝධතාවයේ අවස්ථාවක්

මෙම පිරිස ගැන සමාජ මාධ්‍යවලද යම් කතාබහක් ඇතිවූ නමුත් එහිද ඔවුන් කවුරුන්ද, ඔවුන් මෙලෙස විරෝධයේ යෙදෙන්නේ ඇයි, මොවුන්ගේ අරමුණ කුමක්ද යන්න නිසි ලෙස සඳහන් වී නොතිබිණ. මේ හේතුව නිසාම ඇතිවූ කුතුහලය මත බීබීසී සිංහල සේවය පසුගියදා මෙම පිරිස නිහඬ විරෝධතාවට දක්වන කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිටට පැමිණියේ මෙම නමක් නොමැති විරෝධය ගැන කරුණු සොයා බැලීම සඳහාය.

“මම මෙතනට ආවේ එක පුද්ගලයෙක්ගේ කොන්ද පණ තියෙන ක්‍රියාවක් දැකපු නිසා. අපි ෆේස්බුක් වල ඕන තරම් දූෂණය ගැන කථා කර කර පොස්ට් ෂෙයාර් කරනවා හොරෙන් හොරෙන්. නමුත් එළියට එන්නේ නැහැ. නමුත් එක පුද්ගලයෙක්ට කොන්දක් තිබුණා එළියට ඇවිල්ලා මෙහෙම පුවරුවක් පෙන්වලා එයාගේ අදහස කියන්න. ඒවගේ පිරිස් ඉන්නවා. ඔවුන් එකතුවෙන්න ඕනේ. ඒ නිසා තමයි මමත් මෙතනට ආවේ,” බීබීසී සිංහල සේවයට මුලින්ම අදහස් දැක්වූ මෙම විරෝධයට සම්බන්ධව සිටි මේකලා ඈගල්ල කියා සිටියාය. ඇය වාස්තු විද්‍යාඥවරියකි.

“මේ රට යන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේකට මේ සම්ප්‍රදායිකව ප්‍රධාන පක්ෂවලට ජන්ද දෙන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ඒකට මිනිස්සු අවදිකරන්න ව්‍යාපාරයක් හදන්න ඕනේ, ඒකට කරන උත්සාහයක් තමයි මේ,” ඇය කියා සිටියාය.

මේකලා ඈගල්ල
Image captionමේකලා ඈගල්ල

“අපිට අවශ්‍ය මේ රට යන ක්‍රමයට විරුද්ධ විකල්ප කණ්ඩායම් එකතුවෙන එක. මේ පවතින ක්‍රමයට විරුද්ධව එකට ප්‍රතිරෝධයක් දෙන්න කියලා ආපු විවිධ විකල්ප දේශපාලන කණ්ඩායම් තියෙනවා. අපිත් මේ අය අධ්‍යයනය කරා හැබැයි මේ පිරිස එකතුවෙන පාටක් තිබුණේ නැහැ. මේ වෙනස කරන්න ලොකු බලවේගයක් හදන්න ඕනේ. පුංචි පුංචි කණ්ඩායම් වෙන වෙනම ගිහිල්ල මේක කරන්න බැහැ,” මෙම එකමුතුවේ ප්‍රධානියෙකු වන චතුරංග අබේසිංහ කියා සිටියේය.

පුද්ගලික අංශයේ රැකියාවක් කරන ඔහු කලක පටන් වත්මන් දේශපාලනයට විකල්පයක් සෙවූ පුද්ගලයෙකි. ඒ සඳහා විවිධ කණ්ඩයාම් සමග සාකච්ඡා කර එක් බලවේගයක් ගොඩනැගීම ඔහුගේ අරමුණවී තිබේ. ඔවුන් ඒ සඳහා ගත් මූලික උත්සාහය අසාර්ථකවූ අවස්ථාවේ ඔහුත් සමග මේ සඳහා කැපවී කටයුතු කළ පර්යේෂකයෙකු වන සංජීව සේනාරත්න මෙම විරෝධය ඒක පුද්ගල විරෝධයක් ලෙස ආරම්භ කොට තිබේ.

“සමීක්ෂණයකින් කරුණු හෙළිවෙලා තියෙනවා මිනිස්සු ලක්ෂ 40ක 45ක මහජන අභිලාෂයක් තියෙනවා කියලා රටේ පාලන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. ඒකට සංවිධාන වෙන වෙනම සංවිධාන වෙලා හිටියා. මහජන අභිලාෂය මේ සංවිධාන විසින් නියෝජනය කළේ නැහැ. අපි ඒගොල්ලොත් එක්කත් සාකච්ඡා කරලත් එකතුවෙන්නේ නැති නිසා අපි හිතුවා මෙහෙම දෙයක් කරන්න මේ අයට එකතුවෙන්න බලකරන්න,” සංජීව සේනාරත්න පැවසීය.

“ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන්න කියලා ඉල්ලන්නේ අපි නෙවෙයි. මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ වුවමනාව සංවිධානය කරන්න කියලයි අපි කියන්නේ. ඒක ඒ සඳහා ඉන්න විකල්ප වල වගකීමක්. මොකද මිනිස්සුන්ගේ ඉල්ලීම සංවිධානය නොකිරීම ඔවුන්ට කරන අපරාධයක්,” ඔහු කියා සිටියේය .

වර්තමාන දේශපාලකයන්ට රටේ වෙනසක් කළ නොහැකි බවට විශ්වාස කරන හා පාලනයේ වෙනසක් ඇති කළ යුතු යැයි විශ්වාස කරන, කණ්ඩායම්, සංවිධාන, හා තනි මිනිසුන් එකට එකතුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස්කිරීම මෙම පිරිසේ උත්සාහය වී තිබේ.

ටවුන්හෝල් විරෝධය
Image captionටවුන්හෝල් විරෝධය

ඔවුන් මේ සඳහා විකල්ප කණ්ඩායම් වලට බලපෑම් කිරීම සඳහා ආරම්භ කළ මෙම ප්‍රයන්තයට දැනට දින 28ක් ගතවී තිබේ.

“මේක සංකේතාත්මක වැඩක් ලෙසයි ආරම්භ වෙන්නේ. හැබැයි අපි හිතුවට වඩා ප්‍රචාරයක් ලැබුණා. දිනපතාමපහේ ඉඳලා හය වෙනකම් කට්ටිය මෙතන රැස්වුණා. ෆේස්බුක් එකෙන් දැකලා කට්ටිය ආවා. පාරේ යන අය ඇවිල්ල එකතුවුණා. බයිසිකල් යන ඒවා නවත්තලා මෙතනට ඇවිල්ල ගියා”

“දැනට යම් සාධනීය තත්වයක් තියෙනවා. විකල්ප කණ්ඩායම් කිහිපයක් එකතුවෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන එක විකල්පයක් අවශ්‍යයි මොකද මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහ වලින් ඒක බලාපොරොත්තු වෙන්න බැහැ” මෙහි සංවිධායිකාවක් වන සමිතා අතුල්දරආරච්චි පැවසුවාය.

  • මෙම විරෝධයට බොහෝ පිරිස් සහය පළකරද්දී ඇතැම් අය ඒ ගැන සැක පහල කරමින් චෝදනාද එල්ල කර තිබේ.

“සමහරු හිතනවා අපි රාජ්‍ය නොවන සංවිධානයක් කියලා. අපි සල්ලි අරගෙන කරන වැඩක් කියනවා. මම සහතික වෙනවා මෙතන ඉන්න ඔක්කොම අය හොඳ බුද්ධිමත් වැදගත් පිරිසක්.” මේකලා ඈගල්ල ඒ ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

“අපේ එකම පරමාර්ථය මේ රට යන විදිහ පොඩ්ඩක් හරි හොඳ පැත්තකට ගන්න එක විතරයි. ප්‍රධාන දේශපාලන පක්ෂ කරන මේ විනාශයට අනේ අපොයි කියලා බලාගෙන ඉන්නේ ඇතුව අපි හඬ අවදිකරන්න ඕනේ. එකට එකතු වෙන්න ඕනේ ” ඇය කියා සිටියාය

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.