ලිංගික අල්ලස් ප්‍රතික්ෂේප කරන්න​ අත්වැල් බැඳගමු

දිව්‍යා* තිස් එක් හැවිරිදි තෙදරු මවකි. දැඩි අවශ්‍යතාවක් උදෙසා ණය මුදලක් ලබාගැනීමට ඇය රාජ්‍ය බැංකුවක් වෙත ගියාය. නමුත් නැවත නිවසට පැමිණෙන විට ඇගේ සිතේ සම්පූර්ණයෙන්ම අරක්ගෙන තිබුණේ බැංකු කළමනාකරු මුණගැසුණු අවස්ථාවයි. ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ ආකාරයයි; ඇගේ අත මත ඔහුගේ අත තබා සිටි ආකාරයයි; ඇය මුළුමනින්ම අසරණ කරමින් ඉතාම අප්‍රසන්න කොන්දේසියක් මත පමණක් ණය මුදල ලබාදීමට ඔහු කළ යෝජනාවක් කළ ආකාරයයි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ බලපෑමට ලක්වූ දිස්ත්‍රික්කවල ගෘහ මූලික කාන්තාවන් මුහුණ දෙන ලිංගික අල්ලස් හා බැඳුණු සිදුවීම් අතුරින් දිව්‍යාගේ කතාව එකක් පමණි. එතරම් හුරුපුරුදු වචනයක් නොවූව ද ලිංගික අල්ලස් යනු ශ්‍රී ලංකාවේත් වෙනත් රටවලත් ව්‍යාප්තව පවතින ගැටලුවක් බව සමානාත්මතාව සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රයේ (Centre for Equality and Justice- CEJ) නිර්මාතෘ හා විධායක අධ්‍යක්ෂ ශ්‍යාමලා ගෝමස් මහත්මිය විස්තර කරයි.

සමානාත්මතාව සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය2016 දී මේ පිළිබඳ මුල්වරට පර්යේෂණ කරන විට ඔවුන් එය හැඳින්වූයේ, යම් බලවත් තනතුරක සිටින අයෙකු යම්කිසි සේවාවක් හෝ උපකාරයක් ලබාදීමේදී ඒ වෙනුවට ඉල්ලා සිටින ලිංගිකමය “අයුතු ප්‍රතිලාභයක්”  වශයෙනි. ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව තුළ ඒ පිළිබඳ නිශ්චිත නෛතික අර්ථකථනයක් නැතත්, 1965 අංක 2 දරන අල්ලස් පනත යටතේ යෝජිත සංශෝධන කිහිපයක් ද සහිතව ඒ පිළිබඳව සලකා බැලෙමින් තිබේ.

“කාන්තාවක් වුණාම පිරිමියෙක්ව අවශ්‍ය දුරින් තබාගන්න දැනගන්න ඕනෙ. ඇය ඔහුව පොළඹවාගන්න ඇති”, මෙය බොහෝ දෙනෙකුට ඇසී තිබෙන පොදු ප්‍රතිචාරයකි. සමාජ සම්ප්‍රදායන් මර්දනකාරී විය හැකි අතර වැන්දඹුවන්ගෙන් සහ තනිකඩ කාන්තාවන්ගෙන් ඉහළ සාරධර්ම බලාපොරොත්තු වේ. ඒ අනුව සේවාවක් ලබාගැනීමේදී ඒ වෙනුවට ලිංගික අල්ලස් ලබාදීම සඳහා වරදට යොමුවන සහ එකඟවන පිරිසක් ලෙස ඔවුන් නිරූපණය කෙරේ. බොහෝ මව්වරු මෙම හිංසනය ඔවුන්ගේ දරුවන් කරා ද පැතිරීමේ හැකියාව පිළිබඳව ද බිය වෙති.

අවදානමට පත්ව සිටින කෙනෙකු අපහරණය කිරීමට හෝ අපයෝජනය කිරීමට උත්සාහ ගැනීම අදාළ වැරැද්ද කරන තැනැත්තාගේ බියගුලු බව පිළිබිඹු කිරීමකි. කෙනෙකු සතු අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් භාවයකින් සිටීම සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ඒ පිළිබඳ සන්නිවේදනය කිරීම තුළින් එවැනි උත්සාහයන්ට බාධා කළ හැක. කෙනෙකුගේ ඉල්ලීම/ අවශ්‍යතාවය නීත්‍යානුකූල බව සහ එම නිලධාරියාගේ වගකීම්වලට යටත් බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කිරීම වැදගත්ය. මේ අනුව, නිලධාරියෙකුගේ වචන/ ක්‍රියාවන් හරහා කෙනෙකු බිය ගැන්වීම හෝ බල කිරීම නීති විරෝධීය. එකඑල්ලේ දෑස් දෙස බලා සිටීම, සිටින ඉරියව්ව සහ සන්සුන් බව මගින් දැඩි විශ්වාසයක් හා ආත්ම අභිමානයක් පෙන්නුම් කළ හැකිය.

සියලු වැරදිකරුවන්ට ආරක්ෂිතව මුහුණ දිය නොහැකි බැවින්, තම වටපිටාව සහ වරද සිදුකරන්නාගේ හැසිරීම පිළිබඳ දැනුවත් භාවයකින් සිටීම වැදගත් වේ. ඔවුන්ගේ අරමුණ මෙන්ම ආක්‍රමණශීලීත්වය හෝ ප්‍රචණ්ඩත්වයට නැඹුරුවීමට ඇති ඉඩ පිළිබඳව මෙන්ම ඔවුන් සමඟ කටයුතු කිරීම ආරක්ෂිතද නැද්ද යන්න පවා ඔවුන්ගේ ක්‍රියාවන්, කතා විලාසය, ඉරියව්, මත් වී සිටී ද යනාදිය ඇසුරෙන් කිව හැකිය. හුදෙකලා, නුහුරු ස්ථානයක හෝ දොරවල් වසා ඇති ස්ථානයක මෙවැන්නක් සිදුවන්නේ නම් පිටවීමේ උපාය මාර්ග පිළිබඳව ද දැනුවත් විය යුතුය.

අදාළ නිලධාරියා මත යැපීම හේතුවෙන් බොහෝ විට, එවැනි දේකට යටත් වීම සිදුවෙයි. දිව්‍යා තම දුක්ඛිත තත්ත්වය පිළිබඳව කළමනාකරුගේ අනුකම්පාව පෙන්වූ ආකාරය ගැන සිහිපත් කරයි. “ඔහු ගොඩක් උපකාරී වුණා. මම හිතන්නේ ඔහුගේ දුර්වලතාව මම අමතක කළ යුතුයි”, සිය වේදනාත්මක අපහසුව නොතකා ඈ ඒ මොහොතේ සිතුවේ එවැන්නකි. අපයෝජනයට අනුකූල වීමට වඩා ඊට එරෙහිව කටයුතු කිරීම දුෂ්කරය. විශේෂයෙන්ම වරදකරු කරුණාව, සංවේදීත්වය පළකර ඇගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කරයි නම් දීර්ඝ කාලීන අපයෝජනය සාධාරණීකරණය කිරීමට පවා කාන්තාවක් යොමු විය හැකිය. එවැනි අත්දැකීමකින් පසු වරදකාරී හැඟීම්, බිය, ලැජ්ජාව සහ තමාටම දොස් පවරාගැනීම අසාමාන්‍ය දෙයක් නොවේ.

කෙසේ වෙතත්, ඔබේ ආත්ම-වටිනාකම සහ ප්‍රතිරූපය උසුළාගෙන සිටීම අත්‍යවශ්‍ය වන අතර කිසිදු ලිංගික පෙළඹවීමක් සම්බන්ධයෙන් ඔබට දොස් පැවරිය යුතු නැති බව සිහිතබා ගත යුතුය. එවැනි හැඟීම්වල මූලය හඳුනා ගැනීමත්, කල්තබා ක්‍රියා මාර්ග අනුගමනය කිරීමත් වැදගත් වේ. එනම් වරද කරන තැනැත්තා හෝ එම ස්ථානය මඟහැරීම, ඔබේ කනස්සල්ල හා කාංසාව අවම කර ගැනීම සඳහා ආරක්ෂිත සැලසුම් සකස් කිරීම, උපකාරක කණ්ඩායමක් සොයාගැනීම, භාවනා කිරීම සහ මනස නිදහස් කරගැනීමේ ක්‍රමවේදයන්ට හුරු වීම වැනි ක්‍රියා මාර්ග හරහා විශාල සහායක් හිමිවේ.

අපයෝජනයේ මූලය වන්නේ බලයයි. නමුත් ආධාරක මූලාශ්‍ර සතුව ද යම් බලයක් පවතී. හිංසනයට එරෙහිව නැඟීසිටීමට සවිබල ගන්වමින්, අවශ්‍ය ශක්තිය පිරිනැමීමට කාන්තා කණ්ඩායම්, බිම් මට්ටමේ ක්‍රියාකාරීන් හෝ සමීප විශ්වාසවන්තයෙකු පවා සමත්ය. පවුල් මට්ටමෙන් හෝ ප්‍රජා මට්ටමෙන් සහයෝගීතාව සහ විශ්වාසනීයත්වය රැගත් පරිසරයක් ඇත්නම් එය බොහෝ සිදුවීම්වල තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පෙරළෙනු ඇත. “කෙනෙක්ට තමන්ගේ රාජකාරි කටයුතු හරහා ලබාදෙන සේවාවන් ඉස්මතු කරමින් පෙරළා ලිංගික වාසියක් ඉල්ලා සිටීමේ අයිතියක් නැහැ” යනුවෙන් දිව්‍යා පවසා සිටී.  ආපසු මතක් කර සිටින විට, ඒ මොහොතේ සිය සහජ බුද්ධිය විශ්වාස කළා නම් බැංකු කළමනාකරුට එරෙහිව නැගී සිටීමට තමා පෙළඹීමට ඉඩ තිබුණු බවට ඇය පවසයි. තමාට නීත්‍යානුකූලව ණය මුදල හිමිවන බව ඇය තේරුම් ගෙන තිබුනේ නැත. වඩා වැදගත්ම කාරණය වන්නේ කළමනාකරුගේ අනවශ්‍ය බලපෑම්වලට මුහුණ දීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන ද මනා අවබෝධයක් ඇයට තිබුණේ නැත. එවැනි අවබෝධයක් තිබුණේ නම් වර්තමානයේදී පත්ව ඇති අන්දමේ අසරණ සහ හුදෙකලා බවක් ඇයට නොදැනෙන්නට ඉඩ තිබුණි.‍ අනාගතයේ ඕනෑම අසීරු අවස්ථාවකදී පසු නොබැස සිය මතය වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද මෙන්ම ඒ හා සමාන අසාධාරණයකදී වෙනත් කාන්තාවකට සහාය දක්වන්නේ කෙසේදැයි දැන් තමා දැනුවත් බව දිව්‍යා පවසන්නීය.

* සැබෑ සිදුවීම් මත පදනම්ව සකසා තිබේ. පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා නම් ගම් වෙනස් කර ඇත.

 

 

Santhush Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.