නිරාගමික රාජ්‍යය

නිරාගමික රාජ්‍යයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ ආගම හෝ ආගම නොවන දෙය (Irreligion) යන දෙකින් එකකට හෝ සහයෝගය නොදක්වන රාජ්‍යයකි. ආගම සම්බන්ධ කටයුතුවල දී රාජ්‍ය සම්පූර්ණයෙන් ම නිශ්ක්‍රීය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිරාගමික රාජ්‍යයක ලක්ෂණයකි. එසේම, ආගමට එල්ල වන ප්‍රහාර, ආගම් ප්‍රතික්ෂේප කිරීමට ආදිය සහයෝගය නොදැක්වීම ද නිරාගමික රාජ්‍යයක ලක්ෂණයක් වේ.
නිරාගමික රාජ්‍යයක් විසින් තමන්ගේ සියලු පුරවැසියන් කුමන ආගමික කණ්ඩායමකට අයත් වුවත් සමානයන් ලෙස සලකනු ලැබේ. නිරාගමික රාජ්‍යයකට රාජ්‍ය ආගමක් නොමැත. එහෙත් කිසියම් රාජ්‍යයකට රාජ්‍ය ආගමක් නොමැති වූ පමණින් එය නිරාගමික රාජ්‍යයක් වශයෙන් සැලකීමට නොහැකිය. තමන් වෙත රාජ්‍ය ආගමක් නොමැති බව ප්‍රකාශ කර තිබුණ ද විවිධ නීති සහ ආණ්ඩුකරණ පද්ධතිය මඟින් විවිධ ආගම් සඳහා වෙනස් කොට සැලකීම සිදු කරන බො‍හෝ රාජ්‍ය ලෝකයේ ඇත.
ඇතැම් රටවල් නිර්මාණය කරන අවස්ථාවේ දී ම ඒවා නිරාගමික රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය එවැනි රාජ්‍යයකි. තවත් රාජ්‍යයන් කොටසක් පසුකාලීන ව නිරාගමික රාජ්‍යයන් බවට ප්‍රකාශයට පත් කර තිබේ. ප්‍රංශය, නේපාලය වැනි රාජ්‍ය ඊට උදාහරණ වේ. ප්‍රංශය නිරාගමික රාජ්‍යයක් බවට පත් කෙරුණේ ලයිසෙටේ (Laïcité) නම් ව්‍යාපාරය ඔස්සේය. රාජ්‍ය ප්‍රතිපත්ති නිර්ණය කිරීමේ දී ආගම කිසිදු ආකාරයකින් සම්බන්ධ කර නොගැනීම මෙම ව්‍යාපාරයේ අදහස විය. එහෙත්, කෙනෙකුට ආගම ඇදහීම වෙනුවෙන් ඇති අයිතිය වෙනුවෙන් රජය කිසිදු ආකාරයකින් මැදිහත් වීමක් නොකිරීමට ද මෙම ව්‍යාපාරය යටතේ කටයුතු කෙරිණ.
ප්‍රංශ නිරාගමිකවාදයට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර එය ප්‍රංශ විප්ලවය දක්වා දිව යයි. නිරාගමික ප්‍රංශ රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා දායක වූවන් මූලික අරමුණක් වූයේ චින්තනයේ නිදහස මෙන් ම ආගමක් ඇදහීමේ නිදහස යන දෙඅංශයම ශක්තිමත් කිරීමයි. මෙනයින්, ඉතා පැහැදිලි කරුණක් වන්නේ නිරාගමිකවාදය අනුව ආගමට එරෙහි වූවක් නොවන බවයි. කිසියම් රටක ආගම ඇදහීම පිළිබඳ නිදහස තහවුරු කිරීම සඳහා නිරාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වේ.
අප්‍රිකාවේ රාජ්‍යයන්ගෙන් 27ක් නිරාගමික රාජ්‍යයන් වන අතර යුරෝපයේ රාජ්‍යයන් 33ක් නිරාගමික වේ. ආසියාවේද රටවල් 20ක් නිරාගමික රාජ්‍ය වශයෙන් සලකනු ලැබේ. එහෙත් මෙම රාජ්‍ය වැඩි සංඛ්‍යාවක දක්නට ලැබෙන්නේ ආගම සහ දේශපාලනය මිශ්‍ර වූ ස්වභාවයකි. දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් රාජ්‍යයේ අනුග්‍රහය ඇති ව ඇතැම් ආගම් ප්‍රචලිත කිරීමත් ඇතැම් ආගම් දුර්මුඛ කිරීමත් සිදු වේ. උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍යය නිරාගමික රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණ ද ව්‍යවස්ථානුකූල ව රාජ්‍ය නායකයා ආගම එංගලන්ත සභාව ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටී. 17 වැනි සියවසේ සිට පවතින සම්ප්‍රදායක් අනුව එය අද දක්වා පවතී.
ඇතැම් රටවල් නිරාගමික රාජ්‍යය වශයෙන් තිබී පසුකාලීන ව ආගමික රාජ්‍යය බවට පත් වී තිබේ. ඉරාකය, ඉරානය ආදී රටවල් ඒ සඳහා නිදසුන් ලෙස දීමට හැකිය. 1979 ඉරාන විප්ලවයෙන් පසුව රාජ්‍යය ඉස්ලාම් පල්ලිය ආරක්ෂා කළ යුතු බවට ඉරාන නීති සම්මත කර ගත් අතර 2005 වසරේ ඉරාකය නිර්මාණය කර ගත් අලුත් ව්‍යවස්ථාවෙන් ද සිදු වූයේ ඉස්ලාම් රාජ්‍ය ආගම වශයෙන් පිළිගැනීමයි.

Darshana Ashoka Kumara's Profile Photo, Image may contain: 1 person, closeup

දර්ශන අශෝක කුමාර

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.