ත්‍රස්තවාදය මැඩලන්න , බුද්ධි අංශ ශක්තිමත් කලයුතුයි – දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක්

“රෑන්ඩ්” ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක් නිලන්ත ඉලංගමුව සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.

මුලින්ම, අපේ පාඨකයන්ට ඔබ කවුදැයි කියන්න.

මම “රෑන්ඩ්” ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥයෙක්. මගේ විෂය කලාපය වෙන්නේ, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව. මම වෘත්තිය පුහුණුව ලබලා තියෙන්නේ මානව විද්‍යාඥයෙක් විදිහට. දැනට මගේ සේවා ස්ථානය ඉන්දුනීසියාව. මං පොත් දෙකක් ලියලා තියෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පාදක කරගත් ‘රාමායනය’ පිළිබඳ සොයා බැලීමක් වන, “ඇරෝ ඔෆ් ද බ්ලූ-ස්කින්ඞ් ගෝඩ්” (නිල් පාට දෙවියන්ගේ ඊතලය) එයින් එකක්. ඉස්ලාම් ආගම සහ නූතනත්වය ගැන සොයා බැලෙන “මුල්ලාස් ඔන් ද මේන්ෆ්‍රේම්” (ප්‍රධාන රාමුවේ මුල්ලාවරු) අනිත් එකයි.

දැනට ඔබේ සේවා මධ්‍යස්ථානය වන ඉන්දුනීසියාවේ හතුරෝ දෙන්නෙක් ඉන්න බව පේනවා. එක හතුරෙක් තමයි ස්වභාවික විපත්. දෙවැනි හතුරා තමයි, ජිහාඩ් අන්තවාදය. ඒ කියන්නේ, දීර්ඝ කාලයක් තිස්සේ මධ්‍යස්ථ ඉස්ලාම් ආගමක් තිබුණු රටක්, හෙමිහිට වුණත් පැහැදිලිවම, මූලධර්මවාදීන්ගේ ජනප්‍රිය රැල්ලට යට වෙලා පොඩිපට්ටම් වෙමින් තියෙනවා. වහබ්වාදයට එරෙහිව පෙනී සිටින ‘නද්නාතුල් උලමා’ වගේ මධ්‍යස්ථ ව්‍යාපාරත් ඒ රටේ තියෙද්දී තමයි එහෙම වෙන්නේ. ඔබ ඒක දකින්නේ කොහොමද?

මං හිතන්නේ ඔය ප්‍රශ්නය අතිශයෝක්තියක් කියලයි. ඉන්දුනීසියාවේ ඉස්ලාම් ආගම වෙනස් වෙනවා තමයි. ඒ වගේම, ගෝලීයකරණය වෙනවා. ඒත් ඒක ඉස්ලාම් ආගමට වගේම වෙනත් සෑම ආගමකටත් පොදු ලක්ෂණයක්. සුහර්තෝ බලයෙන් පහවුණාට පස්සේ ගතවෙච්ච අඩ දශකය තුළ තිබුණු ප්‍රචණ්ඩකාරී ඉස්ලාම් කණ්ඩායම්, අද ඉන්න කණ්ඩායම්වලට වඩා ක්‍රියාකාරීව සහ බලවත්ව හිටියා. එදා තිබිච්ච ප්‍රධාන ත්‍රස්තවාදී කල්ලිය- ‘ජෙමා ඉස්ලාමියා’ මේ වෙනකොට විසිරිලා ගිහිල්ලා. අඩු ගානේ, දැන් තියෙන්නේ ඉස්සර තිබුණු සංවිධානේ සෙවනැල්ලක් විතරයි කියලා කියන්න පුළුවන්. මේකෙන් කියන්නේ නැහැ, අන්තවාදය දුරු වෙලා කියලා. මං කියන්නේ, මීට අවුරුදු 15 කට කලින් තිබුණට වැඩිය, ඒ අන්තවාදයේ ත්‍රස්තවාදී තීරුව අද පාලනය කරලා තියෙනවා කියන එකයි.

අපි ශ්‍රී ලංකාව ගැන කතා කරමු. ‘ඉස්ලාමීය රාජ්‍යය’ කියලා හඳුන්වා ගන්න ලංකාවේ කල්ලියක් මැතකදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කළා. ඒක ගැන මොකද හිතන්නේ?

ඒ ප්‍රහාර මාලාව, හිතාගන්න බැරි තරම් අවාසනාවන්තයි. මුළුමණින්ම අනපේක්ෂිතයි. ශ්‍රී ලංකාව, බිහිසුණු සිවිල් යුද්ධයක් තිබිච්ච රටක්. ඒකෙදී ත්‍රස්තවාදය ඕනෑ තරම් දැක්කා. ඒත්, මේ විදිහේ දෙයක් එදා දැකලා නැහැ. ඒ කියන්නේ, එදා ත්‍රස්තවාදය මුළුමණින්ම වගේ පදනම් වෙලා තිබුණේ, දේශපාලනය සහ වාර්ගික අනන්‍යතාවය මත මිසක් ආගම මත නෙවෙයි කියන එකයි. කිතුණුවන් එදා ආගම නිසා ප්‍රහාරයකට ලක්වුණේ නැහැ. ඒ වගේම අයි.එස්.අයි.එස්. වගේ ගෝලීය ත්‍රස්තවාදි ව්‍යාපාර එදා ක්‍රියාකාරීව තිබුණේ නැහැ.

ඇයි ඒගොල්ලෝ ශ්‍රී ලංකාව තෝරාගත්තේ?

මට පේන විදිහට, අයි.එස්.අයි.එස්. සංවිධානය ශ්‍රී ලංකාව තෝරාගත්තා නෙවෙයි, ශ්‍රී ලංකාවේ කල්ලියක් අයි.එස්.අයි.එස්. සංවිධානය තෝරගෙන තියෙනවා. ඒක ඕනෑම තැනක වෙන්න පුළුවන් දෙයක්. නමුත් මේ අවස්ථාවේ ඒක ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් අතට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට ඕන කරන නිපුණත්වය සහ පුහුණුව වගේ දේවල් අයි.එස්.අයි.එස්. සංවිධානෙන් ලැබිලා තියෙනවා.

ඔබ හිතනවද, අයි.එස්.අයි.එස්. සංවිධානය මේ වෙලාවේ පාවිච්චි කරලා තියෙන්නේ ‘හුදකලා වෘකයෙක්ගේ මූලෝපායක්’ කියලා?

නැහැ. මේක ඒ මූලෝපායේ අනිත් පැත්ත. ‘හුදෙකලා වෘකයෙක්ගේ මූලෝපායක්’ කියන්නේ, තනි පුද්ගලයෙක් (කණ්ඩායමක් නෙවෙයි) සැලසුම් කරලා ක්‍රියාවේ යොදවන ප්‍රහාරයක්. බාහිර ආධාර නැහැ. තියෙන්නේ, බාහිරින් එන මතවාදයක් විතරයි. ඒ වගේ ප්‍රහාරයක් දියත් කරන එක හරි සරලයි. උදාහරණයක් විදිහට, සෙනග ගොඩක් මැද්දට වාහනයක් පදවාගෙන යන එක. හතර අතේට වෙඩි තියාගෙන යන එක. ශ්‍රී ලංකාවේ ප්‍රහාරය ඒකේ අනිත් පැත්ත. ඒක, ඉතා පරීක්ෂාවෙන් සැලසුම් කරපු සහ ක්‍රියාත්මක කරපු ප්‍රහාරයක්. අයි.එස්.අයි.එස්. සංවිධානයේ බාහිර ආධාර බොහෝ විට තියෙන්න ඇති.

එල්.ටී.ටී.ඊ. සංවිධානය දියත් කරපු සන්නද්ධ නැගිටීම සහ ශ්‍රී ලංකාවේ ජිහාඩ් අන්තවාදය අතර තියෙන වෙනස්කම් මොනවද?

මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. ඉඳලාහිටලා එල්.ටී.ටී.ඊ. සංවිධානය මුස්ලිම් මිනිස්සුන්ට පහරදීලා තියෙනවා. හැබැයි ඒ, දේශපාලනික හේතු උඩ මිසක් දෘෂ්ටිවාදී හේතු උඩ නෙවෙයි. උදාහරණයක් විදිහට, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දෘෂ්ටිවාදය භාරගන්න මුස්ලිම් කණ්ඩායම් ප්‍රතික්ෂේප කරන කොට ඔවුන්ට පහර දීලා තියෙනවා. බලපෑම් කණ්ඩායමක් විදිහට ගත්තොත්, 2009 දක්වා පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානය, කිසිම ඉස්ලාම් කණ්ඩායමකින් ලංකාවට ඇති විය හැකි තර්ජනයට වඩා විශාල තර්ජනයක් වුණා කියලා කියන්න පුළුවන්. ඒත්, පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් පෙන්නුම් කරනවා, කැපවෙච්ච පුංචි ත්‍රස්තවාදී කල්ලියකට වුණත් මොන තරං විනාශයක් කරන්න පුළුවන්ද කියන එක.

හුඟාක් දෙනා කියනවා, බුද්ධි අංශවල අසාර්ථකත්වයක් මේ ප්‍රහාරයට බලපෑවා කියලා. ඒත් ඉතිහාසය පිරික්සලා බැලුවහම පේනවා බුද්ධි අංශ වාර්තා නොසලකා හැර තිබෙන බව. මොකද ඒ ගැන හිතන්නේ?

සිද්ධියක් වුණාට පස්සේ වෙච්ච දේට හේතු කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒත්, මේ සිද්ධියේදී පෙනී යනවා, ඉතා බරපතල දේශපාලනික අසාර්ථකත්වයක් නිසා ආණ්ඩුව පැත්තෙන් දුර්වලතාවක් ඇති වුණා කියලා. විදේශ බුද්ධි සේවාවකින් (බොහෝ විට ඉන්දියාවෙන්) අවශ්‍ය කරන බුද්ධි තොරතුරු සහ අනතුරු ඇඟවීම් ජනාධිපති සිරිසේනගේ කාර්යාලයට ලබා දීලා තියෙනවා. ඒත්, ඒවා අනුව ප්‍රමාණවත් පරිද්දෙන් පියවර අරගෙන තියෙන බවක් පේන්න නැහැ. ඒ තොරතුරු අගමැති වික්‍රමසිංහට දීලා නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා: එකක් තමයි, අගමැතිවරයා ගැන ජනාධිපතිවරයාගේ විශ්වාසයක් නැති කම. (ඔහුව එම තනතුරින් පහ කරන්නත් ජනාධිපතිවරයා බැලුවා). ඒක නිසා මේ දෙන්නා අතර තියෙන්නේ මහා විරසකයක්. දෙවැනි කාරණේ තමයි, ඉන්දියාව තමන්ට වඩා අගමැතිවරයාට බරයි කියලා ජනාධිපතිවරයා හිතන නිසා, ඉන්දියාවෙන් එන බුද්ධි තොරතුරුත් ගණන් නොගෙන ඉන්නට ජනාධිපතිවරයා පෙළඹුණා වෙන්නත් ඉඩ තියෙනවා.

ශ්‍රී ලාංකික තරුණයෝ විදේශවල අධ්‍යාපනය ලබන අතරේ අන්තවාදී ආගම්වලට බර වෙමින් සිටි බවට විදේශ බුද්ධි සේවාවන් සතුව තිබුණු තොරතුරු ඔවුන් අදාළ පාර්ශ්ව සමග බෙදාගත්තේ නැහැ කියලා වාර්තා වෙලා තියෙනවා. මොකද හිතන්නේ?

අමු බුද්ධි තොරතුරු හැම මොහොතකම අනන්තවත් සංසරණය වෙනවා. එවායින් අහවල් එක බාරගත්තා නම් මේක වළක්වා ගන්න තිබුණා කියන කතාව මෝඩයි. ඔව්, ඒ අතරේ සැබෑ වූත්, වැදගත් වූත් තොරතුරුත් තිබුණා තමයි. ඒත්, තවත් දහස් ගාණක් ව්‍යාජ බුද්ධි තොරතුරු අස්සේ හරි එක අපි කොහොමද එක පාරටම තෝරාගන්නේ?

මේ වගේ ත්‍රස්ත ප්‍රහාර අනාගතේ ඇති වීම වළක්වාගත හැකි යැයි ඔබ සිතන යෝජනා තියෙනවද?

ඔව්. ශ්‍රී ලංකාව ගැන එහෙම යෝජනා කිහිපයක් කරන්න පුළුවන්.

1. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන කඹ ඇදිල්ල ඉවරයක් කරන්න. රටේ ඉන්න ඉහළම දෙන්නා කුලල් කා ගන්නකොට, රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ඒ දෙන්නා සහතික කරන්නේ කොහොමද? අත්‍යාවශ්‍යම නම් මැතිවරණ තියන්න. එහෙම නැත්නම්, දෙන්නාට එකට වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න.

2. ප්‍රති-ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳ බුද්ධි තොරතුරු බෙදා ගැනීමට වෙනත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන්න. මේ සැරේ වුණේ ඉන්දියාවෙන් ලැබිච්චි තොරතුරු මත කටයුතු නොකිරීමයි. මේ අංශය ගැන ඉන්දියාවට විශාල තොරතුරු සම්භාරයක් තියෙනවා. ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ වෙනත් රාජ්‍යයන්ටත් එහෙම බුද්ධි තොරතුරු තියෙනවා.

3. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සමග එකට වැඩ කරන්න. මීට කලින් ලංකාවේ ත්‍රස්ත-විරෝධී සහ කැරලි-විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාව හොඳ එකක් නෙවෙයි. ආණ්ඩුවේ දරුණු ක්‍රියාකාරකම් නිසා දෙමළ ජනතාව එදා ආණ්ඩුවට අහිමි වුණා. ඒකෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජනතා පදනම ශක්තිමත් වුණා. ඒ කැරලිකාරී/ත්‍රස්තවාදී කණ්ඩායමේ ශක්තියත් තර වුණා. ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව සම්බන්ධයෙන් කරපු ඒ වැරැද්ද මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් මෙවර නොකළ යුතුයි.

බුද්ධිමත්, පොතපත හොඳින් කියවපු සමහර තරුණයෝ, සුඛෝපභෝගී ජීවිතත් අතඇරලා දාලා අයි.එස්.අයි.එස්. සංවිධානෙට බැඳිලා මරාගෙන මැරෙන බෝම්බකාරයෝ බවට පත්වෙනවා. මානව විද්‍යාඥයෙක් විදිහට ඒ කාරණය දිහා ඔබ බලන්නේ කොහොමද?

දැන්, විද්වත් සමාජයේ වගේම ප්‍රතිපත්ති සම්පාදන අංශවලත් පොදුවේ පිළිගැනෙන කාරණයක් තමයි, ත්‍රස්තවාදයට තල්ලුව එන්නේ ආර්ථික අඟහිඟකම්වලින් නෙවෙයි කියන එක. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇතුළු අද ත්‍රස්තවාදියෝ, සාමාන්‍ය වශයෙන් ගත්තහම, ඉගෙනගත්ත, මැද පංතික නැත්නම් පහළ මැද පංතික පිරිස්. එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඔසාමා බින් ලාඩන් ගත්තොත් ඔහු ප්‍රකෝටිපතියෙක්.

වෙනත් රටවලවලට අමතරව විශේෂයෙන් ඇමරිකාවට එල්ල වෙන චෝදනාවක් තමයි, මේ ජිහාඩ් ත්‍රස්ත කල්ලි බෝ කළා කියන එක. ඒ තත්ත්වය තූළ ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ උපාය මාර්ග වෙනස් විය යුතු යැයි ඔබ සිතනවද?

ඔව්, ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ හුඟාක් අංශවලට ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්, එම ප්‍රතිපත්ති ප්‍රතිසූත්‍රගත කර ගත්තොත්.

අන්තිම කාරණයක්: මිනිසුන්ගේ සිත් අන්තවාදයට බැඳෙන එක සහ ජිහාඩ් ත්‍රස්තවාදය මැඩළීම සඳහා අපේ ජනතාවට, අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ නීතිය බලාත්මක කිරීමේ ආයතනවල පුද්ගලයන්ට දිය හැකි ඔබේ පණිවිඩය මොකක්ද?

ලංකාවේ හෝ වෙනත් ඕනෑම තැනක ත්‍රස්තවාදය මැඩලන්න තියෙන හොඳම මාර්ගය තමයි, බුද්ධි තොරතුරු එකතු කිරීම සහ බෙදාහදා ගැනීමත්, ඒ වගේම, ත්‍රස්තවාදී ව්‍යාපාරවලට තරුණයන් බඳවා ගැනීම් සිද්ධ වෙමින් තියෙන රටවල් සමග සහයෝගයන් වැඩ කිරීමත්. ශ්‍රී ලංකාවේ බෝම්බකරුවන්ව ඔවුන්ගේම ප්‍රජාවෙන් දැනටමත් ප්‍රතික්ෂේප වෙලයි තියෙන්නේ. ඒ මුස්ලිම් ජනතාවත් එක්ක ආණ්ඩුව මීට වැඩිය සහයෝගෙන් කටයුතු කළා නම්, මේ ත්‍රස්තවාදින් ගැන මීට කලින් දැනගන්නට තිබුණා.

– 2019 මැයි 17 වැනි දා ‘ඩේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ ISIS didn’t Choose Sri Lanka, but Sri Lankan Group Chose ISISI- (RAND)නැමැති සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.