ජාති ආගම් භේදයක් නැතිව – පැතුම් තොටිලි දරා සිටින ‘කෝවිලේ බෝ ගස‘

 

සාමාන්‍යයෙන් බෝගසක අතු අතර එල්ලා – ගැටගසා තිබෙනුයේ ‘අසුවලාගේ අපල දුරුවේවා“ යැයි සඳහන් කොඩි වැල් ය. නමුත් මෙතැන තත්වය හාත්පසින්ම වෙනස් ය.

අප සිටින්නේ දෙහිවල විෂ්ණු කෝවිල් මාවතේ පිහිටා තිබෙන වෙන්ගඩේස්වර ශ්‍රී විෂ්ණු කෝවිල තුළ ය. එහි එන බැතිමතුන්ගෙන් නිබඳ පුද සත්කාර ලබන බෝ ගසෙහි අතු පතර එල්ලී තිබෙන්නේ කොඩිවැල් නොවේ. තොටිලි සමූහයකි. ඒ තොටිලි තුළ නිදා සිටින්නේ මාතෘත්වයේ පැතුමයි. එනිසා ඒ එල්ලා තිබෙන්නේ ‘පැතුම් තොටිලි‘ ය.

පුංචි තිරුපති කෝවිල යැයි ද මේ ස්ථානයට කියයි.

‘‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා‘‘ යැයි ගීත කෝකිලාවිය ලතා වල්පොල උස් හඬින් ගී ගැයුවත්, මේ බෝගසේ අම්මලාගේ බලාපොරොත්තු ලෙස දැල්වී තොටිලි තුළ ගිමන් නිවමින් සිටින බහුතරය ‘පිරිමි බෝනික්කන්‘ නොව ‘බෝනික්කියන්‘ ය.

ඔවුන් පිළිසිඳ ගන්නට කල් යල් බලමින් බෝ ගස් අතු අතර ගිමන් නිවනවා ද විය හැකිය.

පහන් කන්ද පාමුල අඳුරුයි කීවා සේ මේ බෝ රුක අවට පවතින්නේ ද යම් අඳුරු ස්වභාවයකි. එහි එල්ලා වැටෙන තොටිලි අතර ගිය සතියේ හෝ මේ සතියේ එල්ලුවායැයි සිතිය හැකි නැවුම් තොටිලි ‍මෙන්ම, වසර කිහිපයකට පෙර එල්ලුවා යැයි සිතිය හැකි පරණ තොටිලි ද සමූහයක් වෙත්. දිරාපත් වන ඒ තොටිලි තුළ බෝනික්කෝ නිසලව වැතිර සිටිති. කාලයා විසින් සියල්ල ජරපත් කරන හෙයින් ඒ තොටිලි ඇතැමක් අවපැහැ වී ඇත. තොටිලි එල්ලා ඇති බෝ අතු ද කාලය විසින් බිඳ දමා, දිරාපත් කරනු ලබයි. එවිට තොටිලි , ඒ තුළ නිදා සිටින බලාපොරොත්තුවේ දාරක සංකේතය සමගින් එල්ලා වැටෙයි. උඩුයටිකුරු වී ඇති, ඇළවී-සෙළවී ඇති ඒ ඇතැම් තොටිල්ලක් විසින් අහිමි මාතෘත්වයේ වේදනා සඟවාගෙන සිටියි. පරණ තොටිලි සමූහයක් සහිත ඒ බෝ රුක බැලූ බැල්මට ගූඪය. ගුප්ත ය. නමුත් ඒ ඇළවූ, ඇදවූ, දිරාපත් වූ තොටිලිවලින් ඉටුනොවූ පැතුමක කඳුළක් වැගිරෙනවා විය නොහැකිද?

අවිද්‍යාත්මක යැයි පෙනීයන දේවල් විටෙක මනෝමූලික චිත්ත වපසරිය තුළ අතාර්කික නොවේ. ‘‘අපි අවුරුදු 10 ක් විතර බැඳලා දරුවො නැතුව හිටියා. මෙතැනට ඇවිත් නාග පූජාව කරලා, 108 වතාවක් බෝ ගහට වැඳලා තොටිල්ලක් එල්ලුවාම දරු ඵල ලැබුණා.. ඊට පස්සෙ අපි දරුවවත් මෙතැනට එක්ක ඇවිල්ලා බාරෙ ඔප්පු කළා..“ යැයි අපට හමුවූ එක් මවක් කීවාය.

‘‘ඒක දෙයියන්ගෙ ශක්තියනෙ..!‘‘ යැයි අපිට හමුවූ දමිල මිත්තණියක් ඒ ගැන සිය අදහස් දක්වයි.

දරු සම්පත් නොමැති වන්නේ යම් පූරුවේ කරුමයකට යැයි සිතන පුද්ගලයන් ද මේ බෝරුක යටින් හමු වේ. ඔවුන් මෙහි එන්නේ ඒ කර්මදෝෂය නිවැරදි කර ගැනීමේ අදහසිනි. ඒ අම්මලා සිය ජීවන සහකරු ද සමග දිය පිරුණු කළයක් ද අතැතිව එක්කෝ 108 වතාවක්, එසේත් නැතිනම් 1008 වතාවක් පැදකුණු කිරීමේ දුෂ්කර හා වෙහෙසකර අභ්‍යාසය ඉටු කරන්නට ය.

මේ බෝ රුකට ජාති භේද – ආගම් භේද නොමැති සේ ය. දමිල හින්දු බැතිමතුන් තරමටම හෝ ඊටත් වඩා සිංහල බෞද්ධ කාන්තාවෝ මව් පදවි පතමින් මෙහි එති. එය සංස්කෘතීන් දෙකක් හමුවන තැනකි. සංස්කෘතීන් දෙකක් පොදු මානුෂීය ප්‍රශ්නයක් වෙනුවෙන් හමුවන හරස් පාරකි.

‘‘හොඳ හිතින් බාර වුණොත් අනිවාර්යයෙන් ප්රතිඵල තියෙනවා යැයි ඔවුහු කියති.

බාර වන අවස්ථාවේදී බෝ ගසේ තොටිල්ල එල්ලනු ලබන්නේ කෝවිලේ පුද පූජා පවත්වන පූසාරි හෝ ඔහුගේ ගෝලයා විසිනි. ඒ තොටිලි මිලදී ගත හැකි ව්‍යාපාරික ස්ථානයක් මේ කෝවිල තුළ නැත. එනයින්, තොටිලි එල්ලීම ඔවුන් විසින් ‘කෝවිලේ බිස්නස් එකක්‘ බවට පත් කරගෙන නොමැති බව ද පෙනේ. ගෙදර සෑදූ තොටිලි, වඩුමඩුවල සෑදු තොටිලි, ප්ලාස්ටික් තොටිලි යනාදී ඕනෑම තොටිල්ලක, තමන් කැමති බෝනික්කෙකු බිළිඳා සංකේතවත් කරමින් ගැබ්කළ හැකිය. පූසාරි විසින් පහන් පූජාව, පලතුරු පූජාව, සුවඳ දුම් පූජාව යනාදී වත් පිළිවෙත් ඉටු කිරීමෙන් පසුව බෝ ගසේ සුදුසු ස්ථානයක් බලා තොටිල්ල එල්ලීම සිදු කරයි.

‘‘මේ එල්ලල යනතොටිල්ලයිබිළිඳයිඅපි සෑහෙන කාලයක් යනකල් ගළවන්නෙ නෑ. එයාලම අපිට දරුඵල ලැබුණාම ඇවිත් මේක අයින් කරන්න කිව්වාම අපි අයින් කරනවා. අපි සෑහෙන කාලයක් එයාල දරුවන් එක්ක එනකල් බලනවා..“ යැයි කෝවිලේ පූජාව පවත්වන සාමි පවසයි.

කේන්දර බලා දරු ඵල සම්බන්ධයෙන් දෝෂ ඇති බව දැනගෙන මෙහි එන්නෝ ද වෙති. ඔවුන් පූජා හෝ වත් පිළිවෙත් පැවැත්වීම පිණිස නිතරම පාහේ තේරාගන්නේ මෙම පුංචි තිරුපති කෝවිලයි. ඇතැම් දිනෙක එකවර දස දෙනෙක් හෝ පහළොස් දෙනෙක් පමණ මේ වත්පිළිවෙත්වල එකම වේලාවක යෙදෙන අයුරු ද දැකගත හැක.

හින්දු විශ්වාසයට අනුව දරු ඵල නොමැති වීම සඳහා ‘නාග දෝෂය‘ ද බලපායි. එනිසා නාග පූජාව පවත්වා බෝගස වඳින පිරිස් ද මෙහි බහුල ය.

‘‘නාග දෝෂය යන්න බබාල නැති අය ඔක්කොම 1008 පාරක් හරි 108 පාරක් හරි බෝ ගහ වටේ ගිහින් වඳිනවා. 1008 වතාවක් වඳිනවා කියන්නෙ අමාරු දෙයක්. ඒත් අය හොඳටම කැප වෙලා, දෙයියන්ට බාර වෙලා ඒක ඉෂ්ට කරනවා.

‘‘අපේ වෙන්ගඩේස්වරා දේවාලයට අවුරුදු 10 ක් 15 ක් තිස්සේ බබාල නැති අය ඇවිත් බාර වෙනවා. එයින් ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. ඊට පස්සෙ දරුවොත් එක්ක ඇවිත්, බාර ගොඩක් ලොකුවට නිදහස් කරලා සන්තෝස වෙලා ගිහිල්ල තියෙනවා.“ යැයි දේවාලයේ පූසාරිවරයා තවදුරටත් කියයි.

ඔහුට අනුව, ලංකාවේ දේවාළවල 1008 වරක් බෝ රුක පැදකුණු කරමින් සිදුකරන ‘සාසනා‘ පූජාව පවත්වන්නේ අඩුවෙනි. වෙන්ගඩේස්වරා කෝවිල මේ සඳහා චිර ප්‍රසිද්ධියක් උසුළයි.

උතුරේත් දකුණේත් පොදු ප්රශ්නයක්

ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරන් කෝවිල දරු සම්පත් ලැබීම සඳහා පවත්වන පුද පූජා සඳහා ප්‍රකට ය. එහි ද මේ අන්දමින් දරු සම්පත පතන කාන්තාවෝ බෝ ගසේ තොටිලි එල්ලති. මුහුදු වතුරෙන් පහන් පත්තු කළ බව කියන නන්දිකඩාල් කලපුව අසල ඇති වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල, කිලිනොච්චිය ධර්මපුරම් හි නාග තම්බිරාන් කෝවිල වැනි කෝවිල් ගණනාවක සෞභාග්‍යය පතා පුද පූජා පැවැත්වෙන්නේ දරු ඵල ලැබීම සෞභ්‍යාගයේ සංකේතයක් ලෙස සලකා ය. තිස් අවුරුදු යුද්ධය නිසා ඇති වූ සමාජයීය බලපෑම උතුරට බලපා තිබෙන්නේ යම් සේද, දකුණට ද එයටම අනන්‍ය වූ හේතු රැසක් මත මේ පොදු ප්‍රශ්නය පැන නැගී ඇති බව පෙනෙයි.

දරු ඵල ලද හැකි ‘ සාඵල්‍යතා වයස‘ ලෙස විද්‍යාත්මකව සැලකෙන්නේ අවුරුදු 15-49 අතර කාලයයි. වෛාහක වයස ප්‍රමාද කිරීම, වෘත්තීය හෝ අධ්‍යාපනික හේතු මත විවාහයෙන් පසු දරුවන් බිහිකිරීම හිතා මතා ප්‍රමාද කිරීම යනාදී සාධක රැසක් මෙයට බලපාන බව හඳුනාගෙන ඇත. පහත දැක්වෙන්නේ 2006-2016 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ කාන්තාවකට දරු ඵල ලැබෙන ප්‍රමාණය ක්‍රමිකව අඩු වී ඇති ආකාරයයි. එය මේ වන විට දරුවන් 2 දෙදෙනෙකුට වඩා වැඩි වන්නේ කලාතුරකිනි. (මූලාශ්‍රය: www.statista.com)

අද වන විට සරු බව (Fertility) සැලකෙන්නේ ජනගහනයේ වෙනස්වීම සම්බන්ධයෙන් වඩාත්ම තීරණාත්මක සහ එපමණටම ගැටළුකාරී සංරචක ලෙස ය. මූලාශ්‍රය: unfpa එනිසාම සරු බව, ජනගහන විද්‍යාවේ වඩාත්ම ගතික සාධකය බවට ද මේ වන විට පත්ව ඇත. (මේ සම්බන්ධයෙන් බලපාන අනෙක් සංරචක දෙක වන්නේ මරණ අනුපාතිකය සහ සංක්‍රමණික අනුපාතිකයයි (Namboordiri, 1966)).

නූතන ආයුර්වේදයේ සඳහන් වන්නේ හේතු ගණනාවක් මත අද වන විට සෑම ස්ත්‍රීන් දස දෙනෙකුගෙන්ම එක් අයෙකුට දරු ඵල අහිමි බව ය. (මූලාශ්‍රය: Lanka Ayurveda – ලංකා ආයුර්වේද ) ස්ත්‍රී පුරුෂයන්ගේ මද සරු බව හේතුවෙන් දරු ඵල අහිමි වන බව නූතන බටහිර වෛද්‍ය විද්‍යාවේ සාමාන්‍ය මතයයි. මේ අතර, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පවසන්නේ මීට දශකයකට උපත් පාලන ක්‍රම ද සමගින් ලංකාවේ ද පෙර ප්‍රවර්ධනය කළ ‘පුංචි පවුල රත්තරන්‘ සංකල්පය වෙනුවට වෙනත් පාඨයක් සොයාගත යුතු කාලය ලොව පුරාම එළඹී ඇති බවයි.

මධු දිසානායක

  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්රී ලංකාව සම්බන්ධයෙන් පත් කර ඇති සහකාර නියෝජිතවරිය වන මධූ දිසානායක ඉතා වැදගත් හා අපූර්ව කරුණක්, ලංකාවේ උපත් අනුපාතිකය සහ දරුඵල ක්රමිකව අඩුවීම සම්බන්ධයෙන් අවධාරණය කරයි. ඇය පවසන්නේ මේ සඳහා බලපාන ප්රධානතම සාධකය බවට වත්මන් සමාජය තුළ පත්ව තිබෙන්නේ අන් කිසිවක් නොව සහකරුවන් අතර සමීප සබඳතාවක් (intimacy) නොමැති කම බව .

විවාහ බන්ධනය හුදෙක් සමාජයීය ‘පිළිගැනීමක්‘ සේ සලකා, කායික මානසික නොගැළපීම් කොතරම් තිබුණත් සියල්ල වේදනාවෙන් සඟවාගනිමින් සිහින කල් දමන යුවළ අති බහුල වත්මන් සමාජයට ඇය කරන ඉඟිය ඇස් අරවනසුලු ය. සමීප සහකරුවන් අතර කායිකමානසික සබඳතාවය, දරුවෙකු පිළිසිඳ ගැනීමට තරම් ප්රබල නොවේ නම් බෝ රුකේ තොටිලි එල්ලා පලක් වේද…?

දැන් නැවතත් ශ්‍රී විෂ්ණු කෝවිලේ බෝ රුක මුලට යමු.

‘‘මේ විදිහට බෝ ගහේ තොටිලි එල්ලල තියෙන එක දැක්කාම ඔබට මොකද හිතෙන්නෙ?“ යැයි අපි මේ පූජා භූමියේදී මුණ ගැසුණු තලත්තෑනි බෞද්ධ බැතිමතෙකුගෙන් ඇසුවෙමු.

‘‘මේක හින්දු කෝවිලක් බව දැනගෙනමයි අපි මෙතැනට එන්නෙඅපි ඔක්කොම අදහන්නෙ එකම දෙවියොනෙ..!“ ඒ ඔහුගේ පිළිතුරයි.

දෙහිවල ශ්‍රී විෂ්ණු කෝවිල තුළදී එකම මිනිස් කැළක් ජාති, ආගම් භේද ඉක්මවා එකම නොපෙනෙන දෙවියෙකුගෙන් පිහිට පතති. ඒ අයැදුමේ විශ්වීය ‘සංස්කෘතික සංකේතය‘ බවට මද නළ වැදී බෝගසේ අතුවල එල්ලී පැද්දෙන තොටිලි සමූහය පත්ව තිබේ. එහි විද්‍යාත්මක පදනම කුමක් වුවත්, එවැන්නක් තිබුණත්- නැතත්, දරු සම්පත අහිමි වීම නමැති මානුෂීය ප්‍රශ්නය ඉදිරියේ ඔවුන්ට සියලු භේද අමතකව ගොස්, ඔවුන් ‘සමානයන්‘ බවට පත්ව ඇති සැටි දැකීම අපූරු අත්දැකීමකි.

හංසනී සම්පත්

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.