“ගෝඨා” හමුවේ ඇති අභියෝග

ශ‍්‍රී ලංකා පොදුජන ජාතික සම්මේලනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.

”එදා රට වෙනුවෙන් මගේ වගකීම ඉටු කිරීමේදී කිසිදු බාහිර බලවේගයකට බාධා කරන්නට මා ඉඩ දුන්නේ නැහැ. මගේ රටට එරෙහි වන කිසිවකුට මා හිස නැමුවේ නැහැ. අනාගතයේදීත් මගේ මාතෘ භූමියේ ස්වෛරීත්වයට අත තබන්නට මා කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ.”

‘ස්වෛරීත්වය’ යන පදය ඔහු විසින් තවත් තැනෙක යොදා තිබෙන්නේ මෙසේය.

”අපේ සාරධර්ම හා සංස්කෘතිය, දේශීය චින්තනය, ජාතියේ ස්වෛරීත්වය අපට ඉතාමත්ම වැදගත්. අප සෑම රටක් සමගම මිතුරුදම් පවත්වා ගැනීමට සූදානම්. නමුත් අපි කිසිම රටකට අපේ ස්වාධීනත්වය පාවා දෙන්නට සූදානම් නැහැ. රටේ ස්වෛරීත්වය හැම විටම ආරක්ෂා කරන, ඕනෑම රටක් සමග සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින, ගෞරවාන්විත පාලනයක් අපි යළි ස්ථාපිත කරනවා.”

මෙහිදී ජාතියේ, භූමියේ හා රටේ ස්වෛරීත්වය එක්ව ගත් කල ස්වෛරී රාජ්‍යයක් තහවුරු කරන බවට එතුමා විසින් ප‍්‍රතිඥා දුන්නේය. එතුමාට මෙම ප‍්‍රතිඥාව ඉටු කිරීමට දීමට අභියෝග රැසකට මුහුණ දිය යුතුය.

1.) ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාවලිය

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීය. ඊට සමගාමීව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විස්තරාත්මක වාර්තාව ද සකස් කරන ලදී. රටේ නීතිය, නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන, අධිකරණය හා ආරක්ෂක අංශ එමඟින් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබිණි. එම අභූත චෝදනාවලට උත්තර බැඳීමට යහපාලන ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැත.

එම විස්තරාත්මක වාර්තාවල නගා ඇති චෝදනාවලට විත්තිවාචික බැඳ ලෝකයා හමුවේ ආරක්ෂක අංශවලත්, ශ‍්‍රී ලංකා රජයේත් නිර්දෝෂී බව ඔප්පු කිරීමත්, එම වාර්තාවල අඩංගු කර තිබෙන බෙදුම්වාදී අසත්‍ය කරුණු මත සකස් කර තිබෙන 30/1 යෝජනාවලිය ජාත්‍යන්තර වශයෙන් පුනරීක්ෂණයකට ලක් කරවීමත් රටේ ස්වෛරීත්වය වෙනුවෙන් කළ යුත්තකි.

එහි ද්වීතික ප‍්‍රතිඵල ද නැවත හරි ගැස්විය යුතුය. ඒ අතර අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමේ පනත වැනි පනත් ප‍්‍රමුඛය. මෙම පනත් මඟින් අප ආරක්ෂක නිලධාරීන් විදේශ අධිකරණවල හා විනිශ්චය සභාවල බලයට නතු කර තිබේ.

2.) 19 වන ව්‍යවස්ථා සංශෝධනය

19 වන ව්‍යවස්ථා සංශෝධනය ද රාජ්‍ය දුර්වල කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත‍්‍රණයකි. එමඟින් සිදු වූයේ ජනතාව විසින් විධායක බලය භාර දෙන ජනාධිපති ඔහුගෙන්ම බලය ලබන අගමැතිගේ පාලනයට නතු කිරීමයි. එමඟින් රාජ්‍යයේ හිස දෙපලූ වී තිබේ. රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් බැඳෙන්නේ කවර විධායක ප‍්‍රධානියාට ද යන්න අවිනිශ්චිත වී තිබේ.

මෑතකදී සිදු වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ ප‍්‍රධානතම හේතුවක් වූයේ තමන් වෙත විධානය දීමේ බලය ඇති විධායක ප‍්‍රධානියාව තීරණය කර ගැනීමට රාජ්‍ය යන්ත‍්‍රණයේ දෙවන පෙළ නිලධාරීන්ට නොහැකි වීමයි. එම නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය ආරක්ෂාවට දැඩි තර්ජනයකි.

රජයේ ඉහළ නිලධාරීන් හා විනිසුරුවරුන් පත් කිරීමේ බලය තිබෙන ව්‍යවස්ථාදායක සභාව ද කිසිදු විද්‍යාත්මක නිර්නායකයක් නොමැතිව ක‍්‍රියා කරයි. මේ නිසා එහි තීරණ දැඩි දෝෂ දර්ශනයට ලක් වේ.

මෑතකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය නොමැති වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙනි. සාර්ථක රාජ්‍ය ඇති රටවල පාර්ලිමේන්තුව රාජ්‍ය ආරක්ෂාවට, ජනතා සුභසිද්ධියට හා ජනතා අපේක්ෂාවන්ට පටහැනිව ක‍්‍රියා කරන විට එය විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත් කර

ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබා දීමට විධායකයේ ප‍්‍රධානියාට බලය තිබේ. රාජ්‍යයේ දුර්වලතාවයට හේතු වී තිබෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය සාධනීය සංශෝධනයකට ලක් කිරීම රටේ ස්වෛරීත්වය වෙනුවෙන් කළ යුත්තකි.

3.) ආර්ථික ස්වෛරීත්වය

ආර්ථික ස්වෛරීත්වය යනු ස්වෛරීත්වයේ ප‍්‍රභේදයකි. අනාරක්ෂිත ආර්ථිකය රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයකි. මෑතකදී මහ බැංකු අධිපති ඇතුළු ඉහළ නිලධාරින් විසින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ කළ ප‍්‍රකාශවලින් පැහැදිලි වූයේ එයයි.

යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආ විදේශ විනිමය පනත (2017 අංක 12) මඟින් විදේශ මුදල් රට තුළට ගෙන ඒමේ පාලන නීති ලිහිල් කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ත‍්‍රස්තවාදි ප‍්‍රහාරවලට සම්බන්ධ වූවන් විසින් රට තුළට විශාල වශයෙන් මුදල් ගෙනවිත් ආයෝජනය කර තිබෙන්නේ මහ බැංකුවේ අධීක්ෂණයකින් තොරවය. ත‍්‍රස්තවාදීන් සතු ආයෝජන සහ වත්කම් ප‍්‍රමාණය කොතෙක් දැයි අදටත් තක්සේරු කර නොමැත.

මෙම නීතිය නිසා ශ‍්‍රී ලංකාව මුදල් විශුද්ධි කිරීමේ තෝතැන්නක් වී තිබේ. විදේශ විනිමය නීති ලිහිල් කිරීම නිසා විශාල ප‍්‍රමාණවලින් මුදල් ක්ෂණිකව රටින් පිට කිරීමට හැකියාව තිබේ. යමෙක් එසේ කළහොත් සමස්ත ආර්ථිකයම කෙටි කාලයකදී දරුණු කඩා වැටීමකට ගොදුරු වෙයි. වසර කිහිපයකට පෙර ආසියාතික රටවල සිදු වූ අනපේක්ෂිත උද්ධමනයට හේතු වූයේ මෙවැනි තත්ත්වයකි.

4.) බදු පනත

ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතනවලින් ලබා ගෙන තිබෙන ණය පියවීමට ජනතාවගේ සෑම සතයක් ම සූරා ගැනීමට හැකි භයානක යාන්ත‍්‍රණයක් යහපාලන ආණ්ඩුවේ නව බදු පනතින් (2017 අංක 24) සකස් කර ඇත. එසේ කර ඇත්තේ ජාත්‍යන්තර ආයතනවල මූල්‍ය සුරක්ෂිතතාවයටය. දේශීය කර්මාන්තකරුවන්ට හා ජනතාවට ලබා දී තිබූ සහන මුළුමනින්ම පාහේ එමඟින් ඉවත් කරන ලදී. එහි තවත් අරමුණක් වන්නේ පුද්ගලික සංවර්ධනය වෙනුවට ආයතන වර්ධනය සඳහා අනුග‍්‍රහ කිරීමයි.

5.) බැංකු පද්ධතිය සහ බැංකු ප‍්‍රතිපත්තිය

බැංකු පද්ධතිය ද බැංකු ප‍්‍රතිපත්තිය ද වෙනස් කළ යුතු ව ඇත. අද මහ බැංකුව විසින් සිදු කර ඇත්තේ ලෝක බැංකුවේ නිර්නායක ක‍්‍රියාත්මක කිරීමය. ජනතාවගේ සහ දේශීය කර්මාන්තවල සුභ සිද්ධිය අමතක කර ඇත. වාණිජ බැංකුවලට ණය පියවීමට ගිනි පොලී

මුදලාලිගෙන් ණය ගැනීමට ජනතාවට සිදුව තිබේ. දුෂ්කර ආර්ථික සාධක හමුවේ අරගල කරන දේශීය කර්මාන්තකරුවන් හා අයෝජකයින්, නිවාස සහ ගොඩනැගිලි ඉදිකරන්නන් ආර්ථික අර්බුදවලින් මුදා ගැනීමට කිසිදු උත්සහයක් මහ බැංකුව ඇතුළු වාණිජ බැංකු විසින් ගෙන නොමැත. ආර්ථික ස්වෛරීත්වය සඳහා මෙය නිවැරදි කළ යුත්තකි.

6.) ඉඩම් සන්තකය පැවරීම සීමාකිරීමේ සංශෝධන පනත

රටේ ස්ථාවර වත්කම් සහ ඉඩම් විදේශකයින්ට මිලදී ගැනීමට හා දීර්ඝ කාලීන බද්දට ගැනීමට පහසු වන පරිදි සකස් කර ඇති නීති ද රටේ ස්වෛරීත්වයට තර්ජනයකි. විදේශිකයින්ට ඉඩම්වල හිමිකම පැවරීම සීමා කිරීමේ පනතට ගෙන එනු ලැබූ ලිහිල් කිරීම් නැවත සංශෝධනය කළ යුතුවේ.

7.) ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්

ශ‍්‍රී ලංකා-සිංගප්පූරු හා වෙනත් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සකස් කර ඇත්තේ ජනතාවගේ ආර්ථික ස්වෛරීත්වය විදේශීය රටවලට පාවා දීමේ අරමුණින් ය. මේවායින් ඇතැම් ගිවිසුම් තවම ක‍්‍රියාත්මක වී නොමැත. තවද රටේ ජාතික සම්පත්වල පාලනය දීර්ඝ කාලීන ව විදේශිකයන්ට පාවා දී ඇති ගිවිසුම් නැවත සංශෝධනය කිරීම සඳහා විදේශ රාජ්‍ය කැමති කරවා ගත යුතුවේ. අමතරව පොදු රෙගුලාසි පද්ධතියක් හඳුන්වා දීම ද අත්‍යවශ්‍ය වේ.

8.) බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය

ජාතික සහ රාජ්‍ය ස්වෛරීත්වය මුහුණ දී තිබෙන ප‍්‍රබලම අභියෝගය වන්නේ බෙදුම්වාදීන් සමග වංක සහයෝගය ඇතිව ජාත්‍යන්තරය විසින් බල කර සිටින ව්‍යවස්ථා සංශෝධනයයි. මේ වන විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන කමිටු වාර්තා බොහොමයකම ඇත්තේ රට බෙදීමේ ව්‍යවස්ථාවක ආකෘතියකි. එමඟින් රටත්, ජනතාවත් බෙදා වෙන් කිරීමට ජනතාද්‍රෝහී උත්සාහයක් ගෙන තිබේ. මෙය ජාත්‍යන්තර ප‍්‍රහාරයකි. ව්‍යවස්ථා සංශෝධනයේ පරමාර්ථ අපට කියා දෙන්නේ බටහිරිනි.

අපගේ ව්‍යවස්ථාව සකස් කළ යුත්තේ දේශීය චින්තනය මත පදනම් වූ ව්‍යවස්ථා මූලධර්ම මතය. එහිදී භික්ෂූන් වහන්සේලා අනිවාර්යෙන්ම දායක කරගත යුතුය.

දෙමළ බෙදුම්වාදීන්ගේ හා මුස්ලිම් අන්තවාදීන්ගේ ද අරමුණ වන්නේ රට ජාත්‍යන්තර හාම්පුතුන්ට පාවා දී විදේශ ආක‍්‍රමණයකට මඟ පෑදීමයි. මෙහිදි

ගොදුරුවන්නේ අහිංසක දෙමළ සහ මුස්ලිම් ජනතාවයි. ඔවුන්ගේ නායකයන් වශයෙන් පෙනී සිටින මෙම බෙදුම්වාදි-අන්තවාදීන් විසින් ඔවුන්ව රවට්ටන බව ඔවුන් නොදනී. මෙවැනි තර්ජනවලට මුහුණ දී රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශක්තිය, හැකියාව හා අධිෂ්ඨානය ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙන බවට ඉතිහාසය සාක්ෂි දරයි.

9.) ඇක්සා, සෝෆා සහ එම්සීසීසී ගිවිසුම්

ඇමරිකාවේ උවමනාව මත ක‍්‍රියාත්මක කිරීමට වෙර දරන ඇක්සා, සෝෆා සහ එම්සීසීසී ගිවිසුම්ද රටේ ස්වෛරීත්වයට සෘජු තර්ජනයකි. 2030-50 දි රට තිබිය යුත්තේ කෙසේද යන වගට එස්.සී.සී. යන ඇමරිකානු රාජ්‍ය ආයතනය විසින් දැනටමත් සිතියම් ගත කර තිබේ. ග‍්‍රාමීය ජනතාව තම ඉඩම්වලින් ඉවත් කර ඒවා විදේශ ආයෝජකයින්ට කුට්ටි කර ලබා දීමට පහසු වන පරිදි නීති සකස් කරමින් තිබේ.

මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා නැවතුනු රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඉන් එකකි. ඒ වෙනුවට ‘ශ‍්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව‘ නමැති ප‍්‍රබල අමාත්‍යවරයකු යටතේ හිතු පමණින් ඕනෑම ඉඩමක් කොල්ල කෑමට හැකි වන යාන්ත‍්‍රණයක් සහිත කෙටුම්පතක් ද යෝජනා වී තිබේ.

දිනෙන් දින හීන වන අපේ ස්වෛරිත්වය යළි ස්ථාපිත කිරීම 2015 වසරේ සිට රටේත්, ජනතාවගේත් ස්වෛරීත්වය හීන කර ඇති ආකාරය සූක්ෂමය. ඒ සියල්ල මෙහි ඇතුළත් කළ නොහැක. කලාව, සංස්කෘතිය, ඖෂධ, ආහාර, ජනමාධ්‍ය, පරිසරය වැනි බොහෝ ක්ෂේත‍්‍ර විදේශ බලවේගවලට පාලනයට ක‍්‍රමානුකූලව යටත් කර ඇත. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ජනතාව සියුම් ලෙස ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් පරිහානියට හා පිරිහීමට පත් වීමය. මෙම ක‍්‍රියාදාමය යම් පමණකට හෝ වැළකී ඇත්තේ භික්ෂූන් වහන්සේලා ප‍්‍රමුඛ ජාතික බලවේගවල දැඩි ප‍්‍රතිවිරෝධය නිසාය. ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුව තුළ එම කර්තව්‍ය සඳහා මහත් සහයක් දායකත්වයක් ලබා දී ඇත.

ජාත්‍යන්තර ආක‍්‍රමණයන්ට සූක්ෂම ලෙස නතු වී තිබෙන මෙරටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වත්මන් පාලනය විසින් ගෙන තිබෙන හානිකර පියවර ආපසු හැරවීම හෝ මැඬලීම පහසු නැත. එහෙත් එය කළ හැකිය.

එහිදී ජාත්‍යන්තර රාජ්‍ය හා ආයතන සමග ගැටුම් ඇති කර ගත නොහැකිය. වත්මන් ගෝලීය ආර්ථික හා දේශපාලන පරිසරය තුළ ප‍්‍රායෝගික ප‍්‍රතිඵල ගෙන දෙන ප‍්‍රඥාවන්ත හා නවීන ක‍්‍රමෝපායන් මේ සඳහා ක‍්‍රියාත්මක කළ යුතුය. මෙය කිරීමට අපේ ස්වෛරීත්වයට සෘජුවම එල්ල වී ඇති තර්ජනය මනාව තේරුම් ගත් නායකයකු අවශ්‍ය වේ.

අද නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන කිහිප දෙනෙකු අතරින් ගෝඨාභය රාජපක්ෂ මහතා හැර අන් සියලූ දෙනාම පසුගිය වසර හතරම ගත කළේ වල් පල් කියමින් සහ ඕපා-දූප දොඩවමින් ය. ඇතැම් අපේක්ෂකයින් රටේ ස්වෛරීත්වය පාවා දෙන පනත් සම්මත කිරීමට පවා අත ඔසවා ඇත. රටේ ස්වෛරීත්වයට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව එළිය, වියත්මඟ වැනි ව්‍යාපෘතීන් හරහා ජනතාව දැනුවත් කර ඒවාට විසඳුම් සෙවීමේ අභ්‍යාසක රාජපක්ෂ මහතා පසුගිය වසර කිහිපය තුළ යෙදී සිටියේය.

එහෙත් එතුමාට මෙම ප‍්‍රශ්නය සාර්ථකව විසඳීමට අඩුම තරමින් දෙපිරිසකගේ සහය අවශ්‍ය වේ. පසුගිය වසර හතර තුළ එවැනි බලවේගවලට මුහුණ දී අත්දැකීම් ලබා සිටින භික්ෂූන් වහන්සේලා ප‍්‍රමුඛ සැබෑ ජාතික බලවේග ඉන් පළමු වැන්නය. සැබෑ දේශපේ‍්‍රමී වෘත්තිකයින් හා ක‍්‍රියාකාරකයින් දෙවැන්නය. කිසිදු වර්ගවාදී හෝ ජාති බේදයකින් තොරව සමස්ත දේශපේ‍්‍රමී ජනතාවගේ නිරන්තර හා සෘජු සහයෝගය එතුමාට අත්‍යවශ්‍ය වන්නේ ඒ සියල්ලටම ඉහළින් ය.

නීතිඥ කණිෂ්ක විතාරණ

Image result for kanishka witharana

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.