කව්ද මේ , ජෛන මහාවීර ?

ලෝකයේ පහළ වූ මහා පුරුෂයන් අතර මහාවීර ශාස්‌තෘවරයාණන්ගේ නම දැඩි ගෞරවයෙන් යුතුව ලියවී ඇත. ඔහු ජෛන ධර්මයට අනුව විසිහතර වැනි ජෛන ශාස්‌තෘවරයා ය. ඊට පෙර එවැනි ශාස්‌තෘවරයන් විසිතුන්දෙනකු පහළ වූ බව කියෑවේ. අදින් අවුරුදු දෙදහස්‌ හයසීයකට පමණ පෙර ඉන්දියාවේ බිහාරයේ වේසාලි සමූහාණ්‌ඩුව තිබිණ. එහි කුංඩග්‍රාම නමින් එක්‌ නගරයක්‌ විය. ඒ නගරයේ අධිපතියා වූයේ සිද්ධාර්ථ නමැති ක්‍ෂත්‍රිය කෙනෙකි. ඔහුගේ බිරිඳගේ නම ත්‍රිශලා ය. ඇය ෙච්ටක නම් ලිච්චවි අධිපතියාගේ සොහොයුරියයි.

එවකට ඉන්දියානු දින දර්ශනයේ පැවැති පළමුවැනි මාසයේ පසළොස්‌වක දින ත්‍රිශලා එක්‌ කුඩා දරුවකු බිහිකළාය. එම කුමාරයාගේ නම වර්ධමාන විය. මහාවීරයන් වහන්සේට නම් තුනක්‌ තිබිණ. වර්ධමාන, මහාවීර, ඥාතපුත්‍ර ඒ නම් තුනයි. ඔහු උපන් දිනයේ සිට ඔහුගේ ගෙදර ඓශ්වර්යෙන් වර්ධනය වන්නට විය. ඒ හේතුවෙන් ඔහු වර්ධමාන නමින් හැඳින්විණ. ඔහු පසු කලෙක තපස්‌ රකින කාලයේදී, එනම් භාවනාවේ යෙදී සිටි කාලයේදී බොහෝ දුෂ්කර ක්‍රියාවන් ඉවසා දරා සිටියේය. එබැවින් ඔහු මහාවීර යනුවෙන් හැඳින්විණ. ඔහුගේ වංශය ඥාත වංශයයි. ඒ හේතුවෙන් ඔහු ඥාත පුත්‍ර යනුවෙන් හැඳින්විණ.

මහාවීර ගේ වැඩිමල් සහෝදරයාගේ නම නන්දිවර්ධන විය. ඔහුගේ නැඟණියගේ නම සුදර්ශනාය. වර්ධමාන රාජ කුමාරයා කුඩා කාලයේදී ඇතිදැඩි වූයේ රාජ මාලිගාවේමය. ඔහු කුඩා කාලයේදී ක්‍රීඩාවේ දක්‍ෂයෙක්‌ විය. එසේම කුඩා කාලයේදී ඔහු නිර්භීතය. එක්‌ වරක ක්‍රීඩා කරමින් සිටියදී ඒ මධ්‍යයට එක්‌ නාගයෙක්‌ පැමිණියේය. ඔහු ඒ නාගයා අතින් අල්ලා ඈතට විසිකර, යළි ක්‍රීඩාවේ නියුක්‌ත වූයේය. ඔහුගේ වයස අවුරුදු අටේදී ඔහුගේ මවුපියෝ ඔහුට අධ්‍යාපනය දීම සඳහා ගුරුකුලයට යෑවූහ. ඔහුගේ බුද්ධිය බොහෝ තීක්‍ෂණ විය. ඔහු කුඩා කාලයේදී ම මෛත්‍රිය, ඇසූපිරූ බව, අවධි යන ඥානයනගෙන් යුක්‌ත විය.

ඔහු කුඩා අවදිය පසුකර තරුණ වියට පත්විය. ඔහු සහජයෙන්ම විරාගිකයෙකි. විවාහයක්‌ කර ගැනීමට ඔහු තුළ කැමැත්තක්‌ නොවීය. එහෙත් මවුපියන්ගේ බලකිරීම මත ඔහු ක්‍ෂත්‍රිය කුමාරිකාවක්‌ වූ යසෝධා සමඟ විවාහ විය. ඔහුට එක්‌ දුවක්‌ සිටියාය. ඇයගේ නම ප්‍රියදර්ශනා ය. නිසි වියට පැමිණි කල්හි ඇය ඔහුගේ නැඟණිය වූ සුදර්ශනාගේ පුත්‍රයාට විවාහ කර දුනි.

මහාවීරයන්ගේ වයස අවුරුදු විසි අටට පත්වෙත්ම ඔහුගේ පියා වන සිද්ධාර්ථ හා මව වන ත්‍රිශලා මරණයට පත් වූහ. (ස්‌වර්ගස්‌ථ වූහ) මහවීර වයස අවුරුදු තිහේදී ශ්‍රමණයකු බවට පත් විය. ඔහුගේ තාපස කාලයේදී එනම් භාවනාවේ යෙදී සිටි කාලයේදී නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවිය. සමහර මිනිසුන් ඔහු සොරකු යෑයි සිතා මහවීරට පහර දුන්නේ යෑයි කියෑවේ. කුඩා දරුවෝ ගල් කැටවලින් ගැසූහ. බල්ලන් සපා කෑමට තැත් කළ බව ද කියෑවේ. ඇතැම් සර්පයන් ද දෂ්ඨ කළ බව සඳහන් ය. සංගම නමැති එක්‌ දෙවියෙක්‌ එක්‌ රාත්‍රියකදී මහා වීරයන් මහත් සේ පීඩාවට පත් කළේය. මහාවීරයෝ ඔහුට අනුකම්පා කොට ඒවාට සමාව දුන්හ. ඔහු ධ්‍යානයට සමවැදී භාවනා කරන්නට පටන් ගත්තේය. භාවනා කිරීමේදී වතුර පවා බීමෙන් ඔහු වැළකී සිටියේය. අවුරුදු දොළහමාරක (12 1/2) කාලයක්‌ භාවනා කරමින් සිටියේය. ඔහු වෙසක්‌ මස පසළොස්‌වක දිනයේදී ජංබිය ග්‍රාමයට පැමිණියේය.

එහිදී එක්‌ සල් වෘක්‍ෂයක්‌ යටදී අවබෝධය, ඥානාවලෝකය, නිර්වාණය ලබා ගත්තේය. නිර්වානාවබෝධයෙන්ද

ඥාණාවබෝධය ලැබීමෙන්ද, පසුව දෙවියන් මධ්‍යයේ පළමුවැනි ධර්ම දේශනාව පැවැත්වීය. ස්‌ව සංයමයේ (ආත්ම සංයමයේ) උසස්‌ බව මහාවීරයන් වහන්සේ විදහා දැක්‌වූ බව සඳහන් ය. ඔහු ධර්ම දේශනා කරමින් සැරිසරන්නට විය. පුරා අවුරුදු තිහක පමණ කාලයක්‌ තමා සොයාගත් ධර්මය දේශනා කරමින් සැරිසැරීය. අන්තිම මාස හතර පාවාපූරි නගරයේ වාසය කළේය. එක්‌ දිනක මධ්‍යම රාත්‍රියේදී ඔහු නිර්වාණයට පත්විය. සියලු බන්ධනයන්ගෙන් මිදිණ. (මෙතෙක්‌ ලියන ලද්දේ හින්දි භාෂාවෙන් ලියන ලද පොතක එක්‌ පාඩමක සිංහල පරිවර්තනයකි.)

අසෝක රජුගේ පියා බිංදුසාරය. බිංදුසාර රජුගේ පියා චන්ද්‍රගුප්ත මෞර්ය ය. චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ අවසාන කාලයේදී පැවැති තද දුර්භික්‍ෂයක්‌ හේතුවෙන් බොහෝ ජෛන පැවිද්දෝ ගංගා නදී ප්‍රදේශය හැර ඩෙකානයට ගියහ. ඔවුහු එහි තම ආගම පිළිබඳ වැදගත් මධ්‍යස්‌ථාන පිහිටුවා ගත්හ.

චන්ද්‍රගුප්ත මෞර්ය රජු අවුරුදු විසිහතරක්‌ රාජ්‍ය කළ බව කියෑවේ. ජෛන පාරම්පර්යයට අනුව චන්ද්‍රගුප්ත මෞර්යයන් සිහසුන හැර පියා, වර්තමාන මයිසූරයේ පිහිටි මහා ජෛන විහාරයක්‌ වූ ශ්‍රවණ බෙල්ගෝලා ආශ්‍රමයෙහි ජෛන ශ්‍රමණයකු බවට පත්ව, ජෛන සාධුවරයන්ගේ සිරිතට අනුව මිය යන තෙක්‌ම උපවාස පැවැත්වූ බව කියෑවේ. මෙහි සත්‍යාසත්‍යතාව කුමක්‌ වුවද, ඔහුගේ රාජ්‍ය කාලයේදී ජෛන ආගම බලයෙන් වැඩී ගිය බව පෙනී යයි. ශ්‍රවණ බෙල්ගෝලා ආශ්‍රමය වර්තමානයේදී ප්‍රසිද්ධව පවතියි. ජෛන මහාවීරයන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණ නැත. එහෙත් ශ්‍රී ලංකාවේ පණ්‌ඩුකාභය රජු දවස, එරජු අනුගමනය කළ සියලුම ආගම්වලට සමානව සැලකීමේ ප්‍රතිපත්තිය මත ජෛන ආගමික පූජනීය ස්‌ථාන ද ඉදිකළ බව මහාවංශයට අනුව පෙනී යයි. ගිරි, ජෝතිය, කුම්භණ්‌ඩ නිගණ්‌ඨයන්ගේ ජෛන පූජනීය ස්‌ථාන ඒ අතර වෙයි. අර්හන්ත්, ජින, නිගණ්‌ඨනාථ පුත්‍ර යන නම් වලින් ද මහාවීරයන් හැඳින්විණ. වලගම්බා රජ ගිරි නම් ජෛන පූජකවරයා වාසය කළ ස්‌ථානයෙහි අභයගිරි විහාරය ඉදිකළ බව ද මහාවංශය කියයි.දැනට ඉන්දියාවේ හැර වෙනත් කිසිම රටක ජෛන ආගමිකයන් සිටින බවට වාර්තා නොවෙයි. ක්‍රි. ව. 2000 දී ඉන්දියාවේ ජෛන ආගමිකයන් හතළිස්‌ දෙලක්‍ෂ අසූඑක්‌දාහක්‌ වාසය කර ඇති බව සඳහන් වෙයි. (4281000) ඉහත කී විස්‌තරයට අනුව පෙනී යන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීමටත් පෙර ජෛන ශ්‍රමණයන් ශ්‍රී ලංකාවේ සිටි බවයි. පසු කලෙක ජෛන ආගමේ ඇති වූ දීගම්බර, ශ්වේතාම්බර නිකාය භේද ආදිය ගැන සඳහන් නොකළේ ශ්‍රී ලංකාවට ඒවා ප්‍රවේශ නොවූ නිසා ය.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.