උතුරුකරයේ ඓතිහාසික උරුමය රැකගනිමු

උතුරේ හෝ යාල්පානමේ නටබුන් කී පමණින් දකුණේ බහුතරයකට සිහිපත්වන්නේ ගිනි ජාලාවලින් දැවී ගිය පසු තැන තැන ඉතිරි කරන ලද නටබුන්ය. මීට වසර නවයකට පෙරත් ඉන් පසුත් දකුණින් උතුරට බොහෝ ජනයා රොදබැද ගියේ ඒ නටබුන් නැරඹීම මුල්කරගත් විනෝද චාරිකාය. රථ පුරවාගෙන ජය ගී හඩ නංවමින් දකුණෙන් උතුරට ආ ඒ විනෝද චාරිකා දෙස උතුරේ ජනයා බලා සිටියේ බිදී ගිය හදවත්වල වේදනාව සගවාගෙන විය යුතුය. යුද ගිනිදළුවලටත් කර්කෂ අවුරළටත් වඩා ඒ මුහුණු අදුරට හැරී තිබුණේ ඒ වේදනාවෙන්ම විය යුතුය. අහිමිවීම්, පරාජයන්, අවතක්සේරුවලට ලක්වීම් වලින් පීඩිත ජන කොටසක් නැරඹීමට එකම රටක ජන කොටසක් රොදබැද ඒමක් ලෙස එදා ඔවුන්ට එය හැගෙන්නට ඇත.

දමිළ ජාතික, කතෝලික ආගම අදහන්නියක වූ ඇය ශාලිනී චාල්ස්ය. දමිළ ජාතික, හිංදු දහම අදහන්නෙකු වූ ඔහු ප්‍රියන් තම්පිරාජ් ය. ඔවුහු යාල්පානමටම ආවේණික කලාංග අනාගත පරපුරට රැගෙන යාමට වෙර දරන තරුණයින්ය. එමෙන්ම නිර්මාණශීලී ප්‍රකාශන මාධ්‍යයක් ලෙස සිනමාව භාවිතා කරමින් ඉදිරිගාමී ගමනක් ආරම්භ කළ තරුණයින්ය. අප ඔවුන් සමග යාපනය නගරයේ සිට පේදුරුතුඩුව මාවත දිගේ ඉදිරියට ඇදුණෙමු. අදහස් හුවමාරු කිරීම් අතර අපේ කතාබහට ලක් වූ එක් මාතෘකාවක් වූයේ යාපනයේ පවතින ඇතැම් ඓතිහාසික නටබුන්ය.

යාපනය නල්ලූර් ග්‍රාමයෙහි පේදුරුතුඩුව දෙසට දිවෙන මාවතේ ගමන්ගන්නා විට දිස්වූ තේජාන්විත බව තවමත් අත්නොහැරි ඉපැරණි ගොඩනැගිල්ලකි. “මේ තමයි සංගිලියාන් මන්ත්‍රී මාළිගය. රාජ මන්ත්‍රී මාළිගය කියාලාත් කියනවා. දෙමළ භාෂාවෙන් කියන්නේ මන්ද්‍රිමනායි කියලායි. සමහර අය මේ මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරනවා. ක්‍රි.. 13 ඉදලා 17 කාල සීමාවේ ලංකාවේ උතුරු ප්‍රදේශයේ වාසය කළ ආර්ය චක්‍රවර්තී රජවරු තමන්ගේ මාළිගා ගොඩනගාගත් ස්ථාන ගැන පැහැදිලි සාධක නැහැ. ඒ නිසා සංගිලියන් තොරණත් ඊට ඇතුලතින් තිබෙන නටඹුන් රජ මාළිගාවක නටඹුන් විය හැකි බව සලකන නිසා එම මතය ගොඩනැගී තිබෙනවා. ඒත් වැඩිදෙනාගේ පිළිගැනීම වෙන්නේ මේක සංගිලි රාජ පරම්පරාවේ අවසන් ප්‍රභූවරයාට අයත් වූ මාළිගය කියායි.“ ශාලිනී කියන්නීය.

බැලූ බැල්මට එහි වූ සිත්ගන්නාසුලු ශෛලිය අපට එතුළට යාමට ඇරයුම් කළේය. ‘පුරාවිද්‍යා ස්මාරකයකි.‘ යන්නෙන් පුවරුවක් එහි තාප්පයෙන් එබී මගබලා සිටී. විවෘතව පැවති දිරාගිය යකඩ ගේට්ටුවෙන් එහි ගෙමිදුලට ඇතුලුවූ එළුවන් දෙපළ රිසි සේ අහර සොයා ඔබමොබ යනු පාරේ සිටම නෙත ගැටුණි. දිරා ගිය යකඩ ගේට්ටුවෙන් ඇතුළු වී මාළිගය දෙසට ළංවත්ම දුර්වර්ණ බවට හා අබලන් බවට පත් බිත්තිවලින් වැසීයමින් පවතින තේජාන්විත අතීතයක සටහන් අපේ ඉදිරියේ දිස්වන්නට විය. එදා ඉතා රමණීය පරිසරයක් පැවතුණා යැයි සිතිය හැකි අවට පරිසරය ද දැන් හෙමි හෙමින් කැලෑ පරිසරයකට පෙරළෙමින් තිබිණ. ඒ නොකඩවා සිදු නොවන නඩත්තු කටයුතු හේතුවෙන් විය යුතුය. මේ වන විටත් ගෙවත්තෙන් ඇදෙන ලිය වැල් මාළිගයේ බිත්ති බදා ඉහළට නැගෙන්නට පටන්ගෙනය. පාසි පෙද මාළිගයේ බිත්ති මත බොහොමයක් රූ රටා මවා තිබිණ.

එම ගොඩනැගිල්ල මයෝසීන හුණුගල් වලින් නිර්මාණය කොට තිබෙන බව ශාලිනී විස්තර කළාය. මාළිගයට පිවිසුමෙහි හා එහි ඇතුලත වූ කුළුණු දකුණු ඉන්දියානු ආභාෂය පෙන්නුම් කරයි. උස් වූ ආරුක්කුවෙන් ඇතුළු වූ පසු මාළිගයට පිවිසීමට තවත් කැටයමින් සැරසුණු උස් ආරුක්කුවක් ද දොරටුවක් ද පසු කළ යුතුය. ආරුක්කු මත රැදුණු කැටයම් රටා එහි වූ තේජාන්විත බව මනා ලෙස හෙළි කළේය. එහෙත්, මේ සියල්ල තිබුණේ දිනෙන් දින අභාවයට යමිනි, ගරා වැටෙමිනි. මාළිගයේ ඇතුළත බිත්ති මත හිස් තැන් සෙවීමට පහසු නොවන්නේ එහි යන එන්නන් ලියූ වැකි,නම් ගම් ආදී නිසාය. මාළිගයේ කුටිවල කිසිදු බඩු භාණ්ඩයක් දක්නට නොලැබුණත් එහි බිත්ති පිරී තිබුණේ ඒ මත ලියැවුණු වදන්වලිනි.

ඕවලාකාර ඉපැරණි ජනෙල් කවුලුව කුටියේ ඝණදුර තුනී කරන්නට රටාවකට මෙන් හිරු කිරණ රැගෙන ආවේය. කවුළුවේම ගැටගැසී පිටතට ඇදෙන කඹයේ කෙළවර දැකීමට අපි කවුලුවෙන් පිටතට එබුණෙමු. එහි කෙළවර ගැටගැසුණු ගවයෙකු මාළිගයේ පිටුපස මිදුලේ තණ උලා කමින් සිටියේ. “මේවා රැක ගැනීමට නිසි වැඩපිළිවෙලක් නැහැ. විනාශවෙලා යන තෙක් කිසිවෙකුගේ අවධානයක් යොමුවෙන්නේ නැහැ.“ ශාලීනී කීවේ ශෝකය රැදුණු හඩිනි.

අතීතයේ මෙය ඉතාම චමත්කාර ජනක ස්ථානයක් බව පැහැදිලිය. තවමත් එහි චමත්කාරය මුළුමනින් පහවගොස් නොමැත. එහෙත් එය තවත් කෙතරම් කළකටදැයි කිසිවෙකුට කීම අපහසුය. යාල්පානමේ තරුණයන්වූ ශාලිනීලාට පමණක් නොව ඒ වේදනාව දකුණින් එහි ගිය අපට ද දැනුණි. මාළිගයේ ඇතුළත එක් පසෙකින් ඉහළ මාළයට ඇදුණු තරප්පු පෙළක් තවමත් ඉතිරිය. එහෙත් එහි ඉහළ මාළයේ ලීයෙන් කරනලද ගෙබිම මේ වන විට ඉතිරිව පැවතුණේ නැත. මාළිගයේ පසෙක ගලින් බැදුණු, ජලය පිරි ළිදක් තවම දක්නට ලැබේ. වරින්වර ආක්‍රමනයන්ට නතුවූ යාපනය රාජධානියේ විනාශ කරනලද ගොඩනැගිලිවල වරින් වර ප්‍රතිසංස්කරණයන් සිදුව තිබූ අතර ඒ හේතුවෙන් මන්ත්‍රී මාළිගයේ ගෘහනිර්මාණ ශිල්පයට ද ලන්දේසි ආභාසය ලැබී ඇති බව ශාලිනී පැහැදිලි කළාය. එහි තවමත් ඉතිරිව පවතින ලී කැටයම් සහිත ආරක්කු, උස් දොරටු ආදිය ඊට සාක්ෂි සපයන්නේය.

හෙමි හෙමින් ඇද හැලෙන්නට වූ පොද වැස්ස වැඩි වේලා නොගොස් ධාරාණිපාත වර්ෂාවක් ලෙස ඇදහැලෙන්නට විය. මන්ත්‍රී මාළිගයේ තැන් තැන්වලින් ජලය මාළිග ගොඩනැගිල්ල තුළට කාන්දු වුණේය. ගෙමිදුලෙහි එහා මෙහා යමින් සිට එළුවන් දෙදෙන මාළිගයේ ඉදිරි කොටසට සෙවනක් සොයා පැමිණ සිටියහ. එක්වරම තරුණයන් පිරිසක් සහිත වෑන් රථයක් එහි පැමිණියේය. ඔවුන්ට මාළිගය නැරඹීමේ අවශ්‍යතාවයක් තිබූ බවක් නොවීය. ටික වේලාවක් එහි රැදුණු ඔවුහු නැවත රථයට නැගී පිටව ගියේ අප තවදුරටත් එහි රැදී සිටි බැවිනි. ඇතැම් තරුණ පිරිස් නිදහසේ මත්පැන් පානය කර විනෝදවී යාමට ද මේ මන්ත්‍රී මාළගය තුළට ගොඩවදින බව අපේ මිතුරන්ගෙන් අපි දැනගතිමු.

සංගිලියාන් පුවත සමග බැදුණු තවත් ඓතිහාසික ස්ථාන කීපයක්ම ඒ ආසන්නයේ තිබේ. ඒ යමුනා ඒරී පොකුණ, සංගිලියාන් රජුගේ ස්මාරකය ආදී ස්ථාන ය. මෙවැනි ඓතිහාසික ස්ථාන පුරාවිද්‍යා පුවරුවලට සීමා නොවී රැක ගත යුතුව පවතී. ඒවා උතුරේ හෝ දකුණේ නටබුන් නොව එකම රටකට අයත් ඓතිහාසික මෙන්ම කලාත්මක වැදගත්කමකින් යුතු ස්ථාන බව වටහා ගත යුතුය. මතු පරපුර වෙනුවෙන් ද රැකගත යුතු වන්නේ වෛරයේ හෝ අසාධාරණයේ බීජ නොවේ. ශාලිනීලා වැනි උතුරේ තරුණ තරුණියන්ට ද ඇත්තේ එවැනි බලාපොරොත්තු සහ කැපවීම්ය.

ඉදුනිල් උස්ගොඩ ආරච්චි.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.