අපි දිනනවද පරදිනවද තීරණය තියෙන්නේ ජනතාවගේ අතේ – හමුදාපති

1. ඔබ තුමන් මානුෂීය මෙහෙයුමකට සම්බන්ධ වෙලා හිටපු යුද සෙන්පතියෙක්. ඔබ ඒ හා සමාන කර්තව්‍යයක් ලෙස පැවරුණු නිරෝධායන වල මේ වන විට තත්වය කොහොමද?

පිළිතුර​-ගරු ජනාධිපති තුමන් සහ අග‍්‍රාමාත්‍ය තුමන් මාර්තු මාසයේ 07 වන දින පමණ තීරණයක් ගත්තා නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කරනව කියල. එයින් රජය ක‍්‍රමවේදයන් තුනක් බලාපොරොත්තු වුනා.ඒ හදුනාගැනීම සහ වෙන්කර ගැනීම, ව්‍යාප්තවීම නවතා ගැනීම, සහ ඉන්න රෝගීන් බලා ගැනීම. ත‍්‍රිවිධ හමුදාවන්ට පැවරුන රාජකාරී වලින් මුල්ම රාජකාරිය යුද්ධ හමුදාවට භාර වුනා. මෙම මධ්‍යස්ථාන ඉදි කිරීම. ඒ අනුව මාර්තු මස 10 වනදා වන විට මධ්‍යස්ථාන 2කින් ආරම්භ කර අද වන විට මධ්‍යස්ථාන 51 ක් දක්වා වර්ධනය කර තිබෙනවා. එම නිරොධායන මධ්‍යස්ථාන වල 4683 ක ප‍්‍රමාණයක් නිරෝධායනයට ලක් වුනා. සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයේ විශේෂඥයින්ගේ අනුදැනුම පිට දින 14ක් නිරෝධායනයකට ඔවුන්ව ලක් කලා. එම කාලය අවසන් කල අයවළු‍න් අපි නිදහස් කලා. අද වන විට නිරෝධායන කටයුතු අවසන් වී 3,500කට ආසන්න ප්‍රමාණයක් සමාජගත වුනා. ඔවුන් පිටත් වෙලා යන අවස්ථාවේ සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් වලට අනුව තවත් දින 14ක් ස්වයං නිරෝධායනයකට ඔවුන්ට ලක් වෙන්නට කීවා. තවත් 1,189 දෙනෙකු නිරෝධායන මධ්‍යස්තාන 51 තුල රැුඳී ඉන්නවා. ඒවා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන.
මීට දින කිහිපයකට කලින් කළුතර අටළුගම ග‍්‍රාමයෙන් සොයාගත් පුද්ගලයා තවත් පුද්ගලයින් 20ක් පමණ ඉතාමත් ලඟින් ආශ‍්‍රය කර තිබෙනවා. දෙවනුවද ඔහු තවත් පිරිසක් ආශ‍්‍රය කර තිබෙනවා. ප‍්‍රාථමික වශයෙන් ඍජු සබඳතා පැවැත්වූ පුද්ගලයින් 20ක් එම ග‍්‍රාමයට ආසන්න බන්ඩාරගම ප‍්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කර නිරෝධායනයට ලක් කලා. මේ වගේම තවත් පුද්ගලයෙක් පුත්තලම, නැගෙනහිර ප‍්‍රදේශයෙන් සොයා ගත්තා. ඔහුත් මේ වගේම විශාල පුද්ගලයන් පිරිසක් සමග සෘජු සම්බන්ධතා පවත්වලා තිබුනා. එම රෝගියා විදේශයක සිට පැමිණි කෙනෙක්. එම පුද්ගලයා සබඳතා පවත්වලා තිබුනු 88 දෙනෙක් මේ වන විට පුත්තලම සහිරා විද්්‍යාලයේ නිරෝධායන කටයුතු වලට ලක් කරල තිබෙනවා. ඔවුන් වෙනුවෙන් සියලු පහසුකම් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් ලබාදීල තිබෙනවා. ඊට අමතරව කොළඹ කළුතර ගම්පහ පුත්තලම දිස්ත‍්‍රික්ක හුදෙකලා කලා. ඒ වගේම ආසාදනය වුනු පුද්ගලයන් ගැවසුණු තැන් වල නිවෙස් සහ එම ස්ථාන වල පුද්ගලයන් ස්වයං නිරෝධායනයකට ලක් කරන්නට අප කටයුතු කලා. ඒ අනුව තමා කලූතර දිස්ත‍්‍රික්කයේ අටලූවගම ග‍්‍රාමයත් මහනුවර අකුරණ ග‍්‍රාමයත් හුදෙකලා කරන්නට කටයුතු කලේ. ඒ අනුව එම ග‍්‍රාමයට ඇතුළු වීම හෝ පිටවීම සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා.
අටළුගම සහ අකුරණ යන ගම්මාන දෙකම මුස්ලිම් ගම්මාන දෙකක්. පුද්ගලයෙක් දෙන්නෙක් මෙයට වෙනම අර්ථකතන දෙන්නට උත්සහ කලාට මේක එක් ජාතියකට පමනක් තිබෙන ගැටළුවක් නොවෙයි. මේකට කිසිම ජාති භේදයක් නෑ. ලොකයම වනසන්න ආපු වෛරසයක් මේක. උදාහරණයක් විදිහට යාපනය ප‍්‍රදේශයේ පූජක වරයෙන් දේව මෙහෙයක් පවත්වලා තිබුණ මේකට 250ක් පමන සම්බන්ධ වෙලා තිබුනා. එම ජනතාව පැමිනි දිස්ත‍්‍රික්ක පහම මෙලෙස නිරෝධායනයකට ලක් කලා. නමුත් ඒකට කිසිවෙන් විරුද්ධ වුනේ නෑ. ඒ අය මේකට ඉතාමත් කැමැත්තෙන් සහයෝගය ලබාදුන්න. ඊට දින කිහිපයකට පසුව අපි යාපනය අර්ධද්වීපය සඳහා පමණක් ඇඳිරිනීතිය ඉවත් කලා. නමුත් එම ප‍්‍රදේශයේ ජනතාව අපෙන් ඉල්ලූවා තව දුරටත් ඇඳිරි නීතිය තියන්න කියල. යාපනයේ එදා පටන් ගත් ලෙසම තවමත් ඇඳිරි නීතිය පවත්වාගෙන යනවා. පූජක තුමාව ලඟින් ඇසුරු කල කිහිප දෙනෙක් යුද්ධ හමුදාව මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කරල නිරෝධායනයකට ලක් කලා. පූජකතුමාව හමුවීම සඳහා කාමරයට ඇතුළු වුණු පුද්ගලයෙකුට පමණක් වෛරසය ආසාදනය වී තිබෙනවා.යාපනය ප‍්‍රදේශයේ අය මේ විදිහට සහයෝගය දැක්වූවා. ඒ නිසා එක් ජාතියක් ඉලක්ක කරගෙන කිසිවක් වෙලා නැහැ. නමුත් අවාසනාවන්ත ලෙස ඇතැම් පිරිසක් මෙය එලෙසින් අර්ථ දක්වන්න උත්සහ කල. අපි ශ‍්‍රී ලංකාව ලෙසින් මෙය අප රටෙන් තුරන් කරන්න කටයුතු කිරීමට අවශ්‍ය වනවා.

2. හමුදාපතිතුමනි, මේ ඇඳිරි නීතියත් සමග ජන ජීවිතය සාමාන්‍ය අතට පත් කරන්නට ගෙන ඇති ක‍්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර​- ඇඳිරි නීතියක් කිව්වම තෙරුම් ගන්න වෙන්නෙ මෙච්චර කාලයක් තිබුණු ඇඳිරි නීතියක් නෙමෙයි මේ තියෙන්නේ. අපේ රටේ එක එක කාලවල ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වුනා. මේ රටේම හිටපු අය දන්නවා මොන වගේ ඇඳිරි නීතියක්ද ක‍්‍රියාත්මක වුනේ කියල. නමුත් මේ ඇඳිරි නීතිය වෙනත්ම ඇඳිරි නීතියක්. ඒකයි මේක පටන් ගත්තු දවසෙ ඉඳන් මම මේකට ‘නිරෝධායන ඇඳිරි නීතිය’ කියන වචනෙ පාවිච්චි කලේ. මේක සෞඛ්‍යමය ඇඳිරි නීතියක්. රටවැසියව ආරක්ෂා කරන්න යොදවපු ඇඳිරි නීතියක්. මේකයි තේරුම් ගන්න ඕන. මේක තමන්ගේ වගකීම ඉශ්ට නොකරන පුද්ගලයන් වෙනුවෙන්ම යොදවපු ඇඳිරිනීතියක්.
අපි නිවෙස් තුලටම වෙලා ඉන්නම් නිවෙස් නිරෝධායනයට ලක්වෙන්නම් කියල හැමෝම කියනවනම් මේ ඇඳිරි නීතිය දන්න ඕන නැ.. එහෙම නොවෙන නිසා රට පාලනය කරන රටේ නායකයින්ටවෙනවා රටේ ජනතාව ආරක්ශා කරගන්න කුමන හෝ ක‍්‍රමයක් අනුගමනය කරන්න. ඒකයි මේ ඇඳිරි නීතියක් ඇවිත් තියෙන්නේ. මේ වගේ දෙයක් කරන්නෙ ප‍්‍රථම වතාවට ඒ නිසා රටේ නායකයොත් බලනව ජනතාව අපහසුතාවයේ වට්ටන්නෙ නැතිව මේක කරගෙන යන්න. මේකෙ තිබෙන්නේ ‘ඔන් ද ජොබ්’ ක‍්‍රමවේදයක්. යන ගමන් අත්හදා බලමින් යන ක‍්‍රමවේදයක්. අපි අදත් දැක්ක තෙල් ඉවරයි ඔක්කොම කෑම ඉවරයි වගේ කියල හිතාගෙන වැඩ කරන පිරිසකුත්. අපි කඩ හිමියන්ටත් කිව්ව දහවල් 2  වෙනකොට ඇඳිරි නීතිය අවසන් වුනා කියල පෝලිම දිගනම් කඬේ දොරවල් වහන්න එපා කියල. ඔවුන් වෙනුවෙනුත් දොරවල් ඇරල තියන්න කියල කිව්ව. ඒ වගේ නම්‍යතාවයක් තියාගෙනයි මේක කරන්නෙ. අතිගරු ජනාධිපති තුම විසින්ම මේ අත්‍යවශ්‍ය දෙවල් ලබාදීම වෙනුවෙන්ම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටෙව්ව. එහි ප්‍රධානියා වශයෙන් ගරු බැසිල් රාජපක්ෂ මහතාව පත් කලා. මේ බලකායේ අපි කිහිපදෙනෙකුත් ඉන්නව.
මේකෙදි අපි බැලූව කොහොමද මිනිසුන්ට අවශ්‍ය කරන භාණ්්ඩ ලබා දෙන්නේ කියල. එදිනෙදා වැටුප් උපයන අයට එක් ක‍්‍රමවේදයකුත් සල්ලි දීල බඩු ලබා ගන්න අයට එක් ක‍්‍රමවේදයකුත් ලෙස අපි ක‍්‍රමවේදයක් සැළසුම් කලා. මේක පටන්ගෙන තවම දින කීපයයි ගතවුණේග ඒ නිසා තවම පොඩි අඩුපාඩුකම් තිබෙන්නට පුලූවන්. භාන්ඩ ලගට ආවට මිලදී ගන්න අතේ මුදල් නැතිවෙන්නට පුළුවන්. අපි දන්නව ඒක ඒටීම් යන්ත‍්‍ර තිබෙන්න නගරයේ. සල්ලි ගන්න යන්න වෙනවා. ඒකයි කලිනුත් කිව්වෙ. අත්දැකීමකට මුහුණ දුන්නමයි අපිත් ඒ දේවල් තෙරුම් අරන් ක‍්‍රියාත්මක වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනව මේ විදිහට දෙවල් කරල ඒකෙන් සාර්ථක ප‍්‍රතිපල ලබාගන්නට. සාර්ථක ප‍්‍රතිපල ලැබෙන්නටත් පුළුවන් සමහර විට බලාපොරොත්තු වූ තරම් ප‍්‍රතිඵල නොලැබෙන්නටත් පුළුවන්. ඒ තැන් සොයාගෙන ආයෙ එහෙම නොවෙන්නට මෙම කාර්‍ය සාධක බලකාය මගින් කටයුතු කරනවා. මේ විදිහට අපි හඳුනගත්තු ගැටළුවක් තමා තව විශ‍්‍රාම වැටුප් ලබන අයග මේ වෙනුවෙන් ත‍්‍රිවිධ හමුදාවම මේ වන විට අපි සූදානම් කරල තිබෙනවා ඒ වැඩ කටයුතු කරන්න. බැංකු වල කාර්ය මණ්ඩලවලටත් කතා කරල තිබෙනවා සුළු පිරිසක් සම්බන්ධ කරගන්න කියල. විශ‍්‍රාම වැටුප් ලබන අය කියන්නෙ වයසින් වැඩි අය ඔවුන්ට එන්නට අපහසු වෙන්නට පුළුවන් ඔවුන්ට එම වැටුප ලබා ගන්නට හැකි ක‍්‍රමයක් ත‍්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් අපි ක‍්‍රියාත්මක කරනවා. මේ සියලුම දේ ඉදිරි දිනවලදී සිදු කරන්නට ගරු බැසිල් රාජපක්ශ මැතිතුමාගේ නායකත්වය යටතේ සූදානම් කරල තිබෙනවා. මේ විදිහට විශ‍්‍රාම වැටුප් ලබන අයට ඒක ලෑබෙන ආකාරයට ක‍්‍රමවේදයක් සකස් කරල තිබෙනවා. එලෙස ලබාගන්නා පිරිස 658,000 පමන ඉන්නවා. බෙහෙත් ලබා දෙන ක‍්‍රමවේදයක් ඒ ආකාරයෙන්මයි. බෙහෙත් ලබාගන්නට රෝහලට යන අය වෙනුවෙන්ද අළුතෙන් දෙයක් කරල තිබෙනා. අපි දන්නවා රෝහල් වලට ඇවිත් කාර්ඞ් එක පෙන්නලා බෙහෙත් ගන්නවා ඔවුන්ට තැපැල් මඟින් බෙහෙත් ලබා ගැනීමේ පහසුකමක් ලබාදීලා තිබෙනවා. තැපැල්කරු ඒම පළාතේ ඉන්න සෑම පුද්ගලයෙක්ම හඳුනනවා. ඒ අනුව අපි සෞඛ්‍ය වෛද්‍යය නිලධාරීන් තැපැල් දෙපාර්තමේන්තුවේ ඒ අදාල නිළධාරීන් මඟින් එම සේවය ලබාදෙන්නට කටයුතු කරනවා. නමුත් සමහර අවස්ථා තිබෙනවා කාර්ඞ් එකේ තිබෙන නමයි ලිපිනයයි වෙනස් අපි ඔවුන්ට කියනවා එහෙම වෙනසක් තිබෙනවානම් ඒ බව වහාම රෝහලට දැනුම දෙන්න. අපි ඒ බව මෙම මාධ්‍ය මගිනුත් ඔබට කියනවා. සල්ලි දීල පෞද්ගලිකව ගන්න පුළුවන් අයට ඔසු සැල් ඇරල තිබෙනවා. ඒ වගේ ඩිලිවරි ක‍්‍රමයට වට්ස් ඇප් මාර්ගයෙන් ගන්න පුළුවන් විදිහටත් ක‍්‍රමවේදයන් සලසල දීල තිබෙනවා. මේ යනාදී වශයෙන් විශාල ව්‍යාපෘතියක් රටේ ජනතාව වෙනුවෙන් කරගෙන යනවා. මේක පැය 72ක් 90ක් වගේ ඉතාමත් කෙටි කාලයකින් හදපු ක‍්‍රම වේදයක්. ඒ නිසා සුළු අඩුපාඩුකම් තිබෙන්නටත් පුළුවන්. නමුත් අපි ඔසුසැල් වල හිමිකරුවන්ටත් දැනුම්දී තිබෙනවා නම්‍යශීලීව කටයුතු කරන්නට කියලා. රජය බලපොරොත්තු වෙනව දිය හැකි උපරිමය ලබාදෙන්න. අපි හදිසි ඇමතුම් අංක දැනුම් දීල තිබෙනවා. ඕනම වෙලාවක එම ඇමතුම් වලට කතා කරල කියන්නත් පුළුවන්කම තිබෙනවා.

3. ග‍්‍රාම නිළධාරී මාර්ගයෙන් අවසරපත‍්‍රයක් ලබාගෙන නගරයට ඇවිත් බඩු මිලදී ගන්න හැකියාව ලබාදෙන්න සහ ගං තුල තිබෙන කඩ විවෘත කරල තියන්න, එතකොට ශාරීරික දුරස්ථභාවයත් තබාගෙන බඩු මිලදී ගන්න පුළුවන් සහ නගරයට එන්නට තිබෙන තදබදය අඩු වෙනව කියල යෝජනාවක් තිබෙනවා නේද ?

පිළිතුර​-ඔය කාරණාව චීනයෙත් ක‍්‍රියාත්මක කලා කියල කියනව සමහරු. එක පව්ලකට එක කාර්ඞ් එකයි කියල. නමුත් එක වරකට පව්ලෙ පිරිමිය මේ කාර්ඞ් එක අරන් යනව අනිත් වෙලාවට කාන්තාව ගිහින් එනවා. ඇඳිරිනීති පාස් ඒකක් ලබාදෙන අවස්ථා වලදීත් මහත්තයාට ලබාදුන් පාස් ඒක අරන් නෝන ගිනින් එන අවස්ථා අපි දැක්ක. මෙම ක‍්‍රමවේද ඉතාමත් හොඳයි. කාර්‍යසාධක බලකාය තුලත් මේ ගැන කතිකාවතක් ඇති වුනා. නමුත් ගන්න තිබෙන හොඳම ක‍්‍රමය තමා මේ අරන් තිබෙන්නේ. මීට දින කිහිපයකට කලින් ඔය කියපු ක‍්‍රමය අපි අත්හදා බැලූව. ගමේ එක කඩයක් ඇරල තිබුනොත් එක්කෙනා දෙන්න ගිහි බඩු මිලදී ගත්ත. මමත් මාධ්‍ය මගිනුත් කිව්ව ඔබේ කඩවල බඩු තිබෙනවානම් ඒව ඇරල ජනතාවට බඩු මිලදී ගන්න ලබාදෙන්න කියල. නමුත් සමහරු මේ දේ කලේ නෑ. ඔබ කල යුතු වන්නේ එලෙස ඔබේ වෙළඳසැල් විවෘත කරල ජනතාවට බඩු මිලදී ගැනීමට දීමයි. “සමගිය ශක්තිය”යි යන්න හිතෙ තියාගෙන අප මෙය කල යුතුව තිබෙනවා. මේකෙ භයානකකම තිබෙන්නේ වෛද්‍යවරුන් කියන විදිහට ඔබේ නිවස ඇතුලෙ කොරෝන නෑ. ඔබ එලියට ගියොත් විතරයි කොරෝන එන්නේ. පෞද්ගලිකව හැමෝටම වගකීමක් තිබෙනවා මේකෙන් බෙරෙන්න. තමුන් බේරුනොත් හැමෝම බේරෙයි. මේ කතා කරන ඔබේත් මගෙත් ඇෙඟ් වෛරසය තිබෙනවාද කියල අපි දන්නෙ නෑ.

4. කොරෝනා ආසාධනය වුණු පුද්ගලයින් ඇසුරු කරපු අය කවුරුන්ද කියල බුද්ධි අංශ සාමාජිකයින් යොදවලා සොයාගන්නවාද?
පිළිතුර​- ඔව් අපි හොයාගෙන යනවා. අද හවස නැති වුණු පුද්ගලයා එක පාරටම මතුවුනේ ප‍්‍රයිවට් හොස්පිටල් එකකින්. ඒත් එක්කම අද උදෑසන මීගමුව ඉස්පිරිතාලෙට එනවා. දැන් මුලින් අපි එකසිය විසි ගානම හොයාගත්තෙ පළවෙනි දවස දෙවෙනි දවසෙම ආව නිසා. සඟවන්නෙ නැතිව කියපු අය. මෙහෙම නොකිය හිටියෙ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාම කියන්නටත් බෑ. අපේ වෛද්‍යවරුන් සෑමවිටෙකම කියනවා. කැස්ස තිබෙනවානම් උන තිබෙනවානම් දන්නව මේ රෝග ලක්ශණ තිබෙනවා කියල. ලෝකයේ දක්ෂම වෛද්‍යවරුන් ඉන්න රටක් ලංකාව. අධ්‍යාපන මට්ටම වැඩියි. වෛද්‍යවරු කියලම සාමාන්‍ය පුද්ගලයොත් ඒක දන්න තත්වයට ඇවිත් තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙක් එන්න දැනගන්න ඕන. මුලින්ම අපි රෝහල් 14කින් වගෙ පටන් අරන් 24 දක්වා රෝහල් ප‍්‍රමානයත් වැඩි කලා. අපි හෝමාගම මේ වෙනුවෙන්ම රෝහලක් විවෘත කලා. අතිගරු ජනාධිපති තුමත් අද සවස මට කතා කරල කිව්ව ඉරණවිල එකත් කොහොම හරි හදන්න කියල. ඒක දින හයකින් වගේ හැදෙන්න තිබුනෙ නමුත් මම ‍‍උපදෙස් දුන්න කොහොමහරි තව පැය 48කින් හැදෙන්න ඕන කියල. ඇයි මෙහෙම කරන්නේ. එහෙම රෝග ලක්ශණ තිබෙන අය රඳව ගන්න. ඔබතුමා අහපු ප‍්‍රශ්ණයට පිළිතුරු දුන්නොත් ඔව් අපි හැම කෙනාවම හොයාගෙන තිබෙන්නේ. හොයාගන්න තිබෙන්නේ අද හවස සොයා ගත්තු කෙනා විතරයි. අපේ හමුදවේ ඉනවා ඉතා දක්ශ බුද්ධි අංශයක්. පළවෙනියා හොයා ගත්තු ටුවර් ගයිඞ් 64 දෙනෙක් එක්ක සම්බධ වෙලා තිබෙනවා. ඔවුන්ව අපි හොයා ගත්ත. අද වෙනකොට ඔහු පිට වෙලත් ගිහින් තිබෙනවා. අනික් 64 දෙනත් ඉතාමත් හොඳින් ඉන්නවා. මෙහෙම කරන්න අපට පුළුවන් උනේ අපේ හොඳ ක‍්‍රමවේදයක් තිබුණු නිසයි. අපි ඒ අයව හොයාගෙන ගිහින් කිව්ව කොහොමද ස්වයං නිරෝධායනයට ලක්වෙන්නෙ කියල. අපි එහෙම ඉන්න හැම කෙනෙක්වම හොයාගත්ත. හොයාගන්න බැටි වුනේ හංගපු අය විතරයි. හොයාගෙන ගියාමත් නොකියන අවස්ථා තිබුනා. ගාල්ලෙන් කෙනෙක් එක පාරම මතු වුනා වගේ. අපි හමුදවක් වශයෙන් ඔවුන් අපට ඇත්ත කිව්වනම් හැම කෙනෙක්වම හොයාගෙන යනවා. එහෙම නොකියපු පුද්යලයෙකුට කරන්න පුළුවන් දේ දැනුම්දීලා තියෙනවා. ඇමරිකාවෙ බලන්න කොච්චර හොයාගන්න බැරි වුණු ප‍්‍රමාණයක් ඉන්නවද කියල. එහෙම ඉදල අපෙන් අහනව ඇයි හමුදාව හැම එකටම යොදවන්නෙ කියල. අපි කියන්න ඕන අපි නියමිත කාලයට වැඩ කරල තිබෙනවා. වෙලාවට වැඩ කරල තිබෙනවා. වැඩිම මිනිස් බලයක් ඉන්නෙ අපට. විනයක් හොඳින්ම තිබෙන පිරිසක් අපි. කලින් සඳහන් කල මධ්‍යස්ථානය පැය 48න් කොහොම හරි හදනවා. “නොහැක්කක් නොමැත” ඒ හින්ද තමයි අපි අද මෙතැනට ඇවිත් තියෙන්නෙ. ඒකයි අපි මරණ ප්‍රමාණය සීමා කරගෙන තියෙන්නෙ එකසිය ගානක් රෝගින් ඉඳිද්දි. සෞඛ්‍ය අංශ සහ ත‍්‍රිවිධ හමුදාව එහෙම ඉන්න නිසයි පාලනය වුනේ.

5. ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාපති තුමනි ඔබ තුමන්ට මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්න තිබෙන ඉල්ලීම.
පිළිතුර​- කෙටියෙන්ම කිව්වොත් පුද්ගලයෙක් විසින් නැසෙනවද ඉන්නවද කියන තත්ත්වයක් තිබෙන්නේ. තමුන් ඒළියට බැහැලා ඒහේ මෙහ් ගිහින් වෛරසයට අරන් ආවොත් ඇරෙන්න කොරෝන එක තමුන්ගෙ ගෙදරට එන්නේ නෑ. අපි වෛද්‍යවරුන් නෙමේ නමුත් කාර්යසාධක බලකායක් පිහිටුවලා අපි වෛද්‍යවරුන් ඇසුරු කරන නිසා දන්නවා. අපි මේ කරන්නේ අපේ රටේ ජනතාව ආරක්ශා කරගන්නයි. අපි පැරදිච්ච ජාතියක් නෙමෙයි. අපේ රටට කොතරම් ව්‍යසන ආවත් අපි කොහොමහරි නැගිටලා අවසාන වශයෙන් ජයග්‍රහනය කරපු රටක්. අපි හැමදාම දිනපු රටක් අපට පරදින්න කිසිම හේතුවන් නෑ. මේ කොරෝනා එක දිනනවද පරදිනවාද කියන එක තිබෙන්නේ ජනතාවගේ අතේ. යුද්ධයක් වගේ නෙමේ යුද්දෙදි ජනතාවගේ උදව් තිබ්බ. යුද්දෙට සෘජුවම මූන දීපු අයගෙ අතෙයි තිබුනෙ අපි දිනනවද පරදිනවද කියන එක. නමුත් මේක ඊට වඩා වෙනස්. මේක තිබෙන්නේ ජනතාවගේ අතේ. ජනතාව වෛද්‍යවරුන් කියපු විදිහට හැසිරුනොත් මේකෙන් බේරෙන්න පුළුවන්. ඔබට වලේ වැටෙන්න දෙන්නෙ නෑ අපි ඇදල ගන්නව කෙසේ හෝ ඔබව. ඔබත් රැුකිල පව්ලත් රැුකගෙන රටම රැුකගන්න කියන එකයි ඉල්ලන්න තිබෙන්නේ.

 

දිලංක ගුණතිලක / සම්පත් වේගිරිය

Santhush Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.